විශේෂ පොලිස් කොට්ඨාසයක් භාර පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙක් කිලෝ එකකට වැඩි හෑෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවට පත් වී තිබේ.
කඩවත දී මේ අත් අඩංගුවට ගැනීම සිදුවන්නේ පසුගිය දා ගොතටුවේ දී සහ දක්ෂිණ අධිවේගී පිවිසුමේ දී අත් අඩංගුවට ගන්නා කුෂ් කිලෝ 10කට අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ කරන විමර්ශනයට අදාලව හෙළි කරගන්නා ප්‍රධාන පුරුකක් ලෙසය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනා සම්බන්ධව සිදුකරමින් යන විමර්ශනයට අනුව මුලින්ම කිරිබත්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලබන්නේ හෑෂ් ගෑම් 101ක් සමගිනි. එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු ප්‍රකාශ කරන්නේ කඩවත නිවසක තවත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවා ඇති බවය.
ඒ අනුව අඩක් නිමකර ඇති එම නිවසට ගොස් නිවස පරීක්ෂා කරන විට එම නිවස පොලිස් නිලධාරියෙකුට අයත් නිවසක් බව වැටහී තිබේ. කෙසේ වෙතත් සැකකාර තරුණයාගේ කාමරය පරීක්ෂා කරන අවස්ථාවේ දී මෙම හෑෂ් කිලෝ එකකට වැඩි මත් ද්‍රව්‍ය ප්‍රමාණය පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
එම අවස්ථාවේ දී තරුණයාගෙන් කළ ප්‍රශ්නකිරීමේ දී හෙළි වන්නේ තම පියා විශේෂ පොලිස් කොට්ඨාසයක් භාර පොලිස් අධිකාරීවරයෙක් බවය. දරුවාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව දැනුම්වත් භාවයක් මෙම පොලිස් ප්‍රධානියාට තිබී නැති බවත්, පාසල් අවධියේ දී මත්ද්‍රව්‍යයට හුරු කරවා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් රැස්කිරීමේ ක්‍රමයක් ලෙස ඔහු ලවා මත්ද්‍රව්‍ය අලෙවි කරවීමට ජාවාරම් කරුවන් කටයුතු කර ඇති බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
තරුණයා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ ලිපියත් කියවන්න…
රුපියල් බිලියන 01ක කුෂ් තොගයක් සැකකරුවන් 02ක් සමග අත් අඩංගුවට…







