ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් වැරදි අදහසක් ගම්‍යවන අයුරින් සිදු කළ ප්‍රකාශයක් නිවැරදි කරන ලෙස ඉල්ලා එන්තර වාසියක් යොමු කරන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසයි.
විමල් වීරවංශ පෞද්ගලික රූපවාහිනී සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සහ එම කරුණු උපුටා දක්වමින් වෙබ් පුවත් අඩවියක වාර්තා කර තිබූ කරුණු සම්බන්ධයෙන් මෙලෙස එන්තර වාසි යොමු කර මින් එම අසත්‍ය ප්‍රකාශය නිවැරදි කරන ලෙස දැනුම් දෙන බව සිරිල් ගාමිණී පියතුමා අගරදගුරු නිල නිවසේ අද(06) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.
මෙරට පාස්කු ප්‍රහාර සිදු වූ දිනයේ දී ඉතිහාසයේ පළමු වතාවට කාදිනල් හිමියන් පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයට සහභාගී නොවූ බවත් ඊට පෙර වසරවලදී මෙම දේව මෙහෙයට සහභාගී වී තිබූ බවත් විමල් වීරවංශ පවසා තිබුණි. එසේම 2019 වසරට පසුවත් පැවැති පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයන්ට සහභාගී වී ඇති බවත් කාදිනල් හිමියන් සම්බන්ධයෙන් සඳහන් කර ඇත.
මෙයින් විමල් වීරවංශ අදහස් කරනුයේ, කාදිනල් හිමියන් පාස්කු බෝම්බ ප්‍රහාරය දැන සිටියාය යන්න වූ අර්ථයක් බවට සැකයක් ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙයි.
කෙසේ නමුත් විමල් වීරවංශගේ ප්‍රකාශය අසත්‍ය බවත් සෑම පාස්කු ඉරිදා දේව මෙහෙයකදීම කාදිනල් හිමියන් පාස්කු ඉරිදාට පෙර දින මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව පවත්වන බවත් 2019 වසරේ දී ද එලෙසම මධ්‍යම රාත්‍රියේ දී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී දිව්‍ය පූජාව පැවැත්වූ බවත් සිරිල් ගාමිනී පියතුමා කියාසිටියේය.
මෙලෙස මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව පැවැත්වීම සාමාන්‍ය සම්ප්රදාය බවත් එය මෙරට කතෝලික ජනතාවගේ ප්‍රධාන දිව්‍ය පූජාවවන බවත් සාමාන්‍යයෙන් උදෑසන දිව්‍ය පූජාවක් කාදිනල් හිමියන් නොපවත්වන බවත් සදහන් කෙරුණි.
ප්රකාශනයේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් බවත් ඒ නිදහස තියෙන්නේ අසත්‍ය ප්‍රකාශ කිරීමට නොවන බැවින් විමල් වීරවංශ සිදු කළ මෙම අසත්‍ය කරුණු නිවැරදි කරන ලෙස ඉල්ලා විමල් වීරවංශට එන්තරවාසියක් යොමු කිරීමට සිය නීතීඥවරු කටයුතු කරමින් සිටින බවත් සිරිල් ගාමිනී පියතුමා වැඩිදුරටත් පැවසීය. ( දිනමිණ )







