ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ධූරයේ බලතල කාර්ය සහ කර්තව්‍යයන් ඉටු කිරීම අත් හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා 2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත යටතේ පත් කළ කමිටුව ඉදිරිපත් කළ චෝදනා 23න් යුත් චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා 4ක් හැර සෙසු චෝදනා සියල්ලටම ඔහු වරදකරු බවට ඒකමතිකව තීන්දු කර ඇතැයි මහජන ආරක්ෂක ඇමතිවරයා අද (05) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය .
2025 මැයි 19 දින එම චෝදනා පත්‍රය අදාල කමිටුව විසින් දේශබන්දු තෙන්නකෝන් වෙත භාර දී තිබිණි.
දේශබන්දු තෙන්නකෝන් වරදකරු බවට චෝදනා නොකළ චෝදනා 04න් දෙකක් සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බැවින් අදාල කමිටුව විසින් විමර්ශනයක් පවත්වා නොතිබුණ බවත් පොලිස්පතිවරයා වරදකරු යැයි චෝදනා කර ඇත්තේ වරද දෙකකට පමණක් බවත් ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරිමේ පනත අනුව නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයා ඉවත් කිරීමට පෙර ඔහු විසින් සිදුකර ඇති විෂමාචාර ක්‍රියා මොනවාද යන්න සොයා බැලීමට පත් කරන කමිටුවේ සාමාජිකයෙක් පත් කරන්නේ අග්‍ර විනිශ්චයකාරවරයාය. ඒ පත් කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. අනෙක් සාමාජිකයා පොලිස් කොමිසමේ සභාපතිය. ඉතිරි සාමාජිකයා අග්‍රාමාත්‍ය තුමා සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් පත් කරන්නෙකි.
ඒ අනුව මෙම කමිටුවට අදාලව එවකට අග්‍ර විනිශ්චයකාරවරිය නම් කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාය. එමෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති ධූරය දරන්නේ මහාධිකරණ විනිසුරුවරයෙකි. අග්‍රාමාත්‍ය තුමිය සහ විපක්ෂ නායකවරයා පත් කළ සාමාජිකයා වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයා ද විනිසුරුවරයෙකි.
විෂමාචාර ක්‍රියා සහ බලය අවභාවිතා කිරීමේ ක්‍රියා 19කට දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු යැයි ඒකමතිකව තීරණය කර ඇත්තේ අත්දැකීම් බහුල විනිසුරුවරුන් තිදෙනෙක් වීම විශේෂයක් බව මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවේය.
එම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ නීතිපතිවරයා විසින් කැඳවූ සාක්ෂි කරුවන් 38 දෙනෙකුගේ සාක්ෂි විමසීමෙන් බව ද ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැවසුවේය.







