මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට මෙවර යල කන්නයේ නෙළාගත් වී අස්වනු හසු වීමත් සමග අමු වී සහ වේලපු වී මිල සීග්‍රයෙන් පහළ බැස තිබේ. ඒ අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 90 ක් දක්වා පහළ බැස ඇති අතර, වේලන ලද වී කිලෝවක් රුපියල් 100 ක් වැනි මිලකට පහළ බැස ඇති බවද ගොවීහු කියති.
වී අස්වනු වර්ෂාවට හසුවීමත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් සහ සහල් මෝල් හිමිකරුවන් තරගකාරී අයුරින් තම වී තුට්ටු දෙකට මිලදී ගැනීමේ සුපුරුදු ව්‍යාපාරය ආරම්භ කර තිබෙන බවද ගොවි සංවිධාන පෙන්වා දෙති.
මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් විසින් නියෝජිතයින් සහ බ්‍රෝකර්වරුන් යොදවා කුඹුරටම අමු වී ලබාගැනීමට පැමිණෙන අතර ඔවුන්ට කොමිස් මුදලක් තබාගෙන මහා පරිමාණ වී මෝල් හිමිකරුවන්ට ගොවීන්ගේ වී ලබාදීමට මැදිහත් වී සිටින බව ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති.
මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් රුපියල් 90 කට ලබා ගන්නා වි කිලෝවක් සහල් බවට පත්කර රුපියල් 230 ක සිල්ලර මිලකට ලබාදීම සහල් පාරිභෝගිකයාට හා ගොවියාට කරන බරපතළ අසාධාරණයක් බවද ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.
වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට තමන්ට පවතින යෙදවුම් මිල අනුව රුපියල් 120 ක් පමණ වැය වන අතර, මෙම තත්ත්වය මත වී වගාවෙන් ලාභයක් ලැබීමට නම් වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක්වත් රජය විසින් පැනවිය යුතු බවද ගොවීහු පවසති.
මෙවර වැඩි වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාඩු වී වගාකර තිබෙන අතර ඒ සඳහා විශාල ඉල්ලුමක්ද පවතී.
වී අලෙවි මණ්ඩලය මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා අටක් මේ වනවිට විවෘත කර තිබෙන අතර මෙතෙක් වී ඇටයක්වත් පොළොන්නරුව ගොවීන්ගෙන් මණ්ඩලයට නොලැබුණු බව වි අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක අප කළ විමසීමකදී පැවසීය.
වැලිකන්ද, මනම්පිටිය, අඹගස්වැව, ජයන්තිපුර, දියබෙදුම,හිඟුරක්ගොඩ, මැදිරිගිරිය. ඇළහැර, යන ප්‍රදේශවල වී ගබඩා විවෘතව ඇති බවත් ඕනෑම, ගොවීන් ගෙනෙන වී ලබා ගැනීමට තම මණ්ඩලය සූදානමින් සිටින බවත් පවතින වෙළඳපොලේ මිල ගණන් අනුව ගොවීන් ගබඩා වෙත රැගෙන නොයනු ඇති බවද නිමල් ඒකනායක කීය.
රජය මඟින් වී ගබඩා විවෘත කර තැබුණද වී වේලා ගබඩා වෙත රැගෙන යාමේදී තමන්ට ප්‍රවාහන වියදම් සහ වී වේලීමේ වියදම් සලකා බලන කල, පෞද්ගලික වෙළදුන්ට අමුවෙන් වී ලබාදීම යම් වාසියක් තිබෙන බවද ගොවීන් කියති.







