වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ –
-
මත්ද්‍රව්‍ය පානය කොට රිය පදවන්නා සිදුකරන වරද හේතුවෙන් ජීවිත හා දේපල හානි සඳහා තුන්වන පාර්ශ්වයට සරිලන වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නීතිය සැකසිය යුතුයි… දැන් ඒ අවකාශය වින්දිතයන්ට නීතියෙන් ලැබෙන්නෙ නෑ…
මත්පැන් පානය කොට රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක්… මෙහිදී රුධිරය මිලි ලීටර් 100ක මධ්‍යසාර මිලි ලීටර් 80 ට වැඩි ප්‍රමාණයක් තිබුණොත් රියදුරා වැරදිකරුවෙකු වෙනවා. මේ ප්‍රමාණය මනින්න පුළුවන් පොලිස් නිලධාරීන් ඒ අවස්ථාවේදීම සිදුකරන ප්‍රස්වාස වාත පරීක්ෂණය (Breathalyzer test) මගින් හෝ රජයේ වෛද්‍ය නිලධාරියකු විසින් ලබා ගන්නා රුධිර සාම්පලයක් මගින්.
රුධිරගත මධ්‍යසාර ප්‍රමාණය මීට වඩා අඩු වුවහොත් ඔහුට බීමත්ව රිය පැදවීම සම්බන්ධව වරද පැටවෙන්නේ නැහැ. මේ අනුව ඊට දින දෙකකට පමණ පෙර අධිකව මත්පැන් පානය කළ අයට වුවත් පරීක්ෂා කරන විට රුධිරයේ මධ්‍යසාර මට්ටම සම්මත ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබුණොත් ඒ සම්බන්ධව ගැටලුවක් වන්නේ නැහැ.
නමුත් ගැටළුව වන්නේ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන්. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කොට ඇත්දැයි පරීක්ෂා කරනු ලබන්නේ ඔවුන්ගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීම මගින්. මේ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් Multi drug screen test නම් මූත්‍රා පරීක්‍ෂණයක් සිදු කරනු ලබනවා . මෙහිදී අවසන් වරට මත්ද්‍රව්‍යක් පාවිච්චි කොට සති දෙකක් දක්වා කාලයක් තුළ මුත්‍රා පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ මුත්‍රාවලින් ධනාත්මක ප්‍රතිඵල ලබා දෙනවා. මේ පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිරයේ කොපමණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබේද.? ඒවා භාවිතා කොට ඇත්තේ කවදාද ? කොපමණ ප්‍රමාණයක් භාවිතා කොට ඇත්ද ? යන්න ප්‍රකාශ කළ නොහැක. එනම් මෙහිදී ලබා දෙන්නේ මූත්‍රාවල මත්ද්‍රව්‍ය අඩංගු බවට වන ගුණාත්මක අගයක් මිස කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න පිළිබඳව ප්‍රමාණාත්මක අගයක් නොවේ.
වෙනත් මත්ද්‍රව්‍ය නිත්‍යානුකූලව භාවිතා කරන රටවල, උදාහරණ ලෙස නෝර්වේ, ජර්මනිය, එංගලන්තය(සමහර මත්ද්‍රව්‍ය සඳහා පමණි ) , ඇමෙරිකාව(සමහර ප්‍රාන්ත). මධ්‍යසාරවලට මෙන්ම මත්ද්‍රව්‍යවලටත් රුධිර ගත ප්‍රමාණය සම්බන්ධයෙන් නිර්ණායක තිබුණද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක මෙම අගය බින්දුව( Zero tolerance ) ලෙස දක්වා තිබෙනවා. එනම් අපේ රටේ වාහන පදවන රියදුරෙකුගේ මුත්‍රා සාම්පලවල කිසිදු ලෙසකින් මත්ද්‍රව්‍ය සිරුර තුළ පරිවෘතීය ක්‍රියාවලට යොමු වීමෙන් අනතුරුව බැහැර කරන අප ද්‍රව්‍ය කොටස් ඇතුළත්ව තිබිය නොහැකියි.
මත්ද්‍රව්‍ය භාවිතයේ දී වෙන දේ
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් රියදුරන් භාවිතා කරන ගංජා මත්ද්‍රව්‍ය මගින් ප්‍රධාන වශයෙන් ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය වැඩිකරනවා. එනම් අනතුරක් දුටු වහාම වාහනේ තිරිංග යෙදීමට හෝ වෙනත් ක්ෂණික තීරණයක් ගැනීමට ඇති හැකියාව අඩුකරනවා. අනතුරක් වීමට විශාල හැකියාවක් ඇති බව තේරුම් යන්නේ නෑ. එමෙන්ම වටාපිටාව පිළිබඳව අවධානය අඩුයි. .
එබැවින් ඔවුන්ට රිය පැදවීමේදී තමන්ගේ රිය පදවා ගෙන යා යුතු නිශ්චිත මං තීරුව ගැන වැටහීමක් නැති වෙනවා. එසේම දුර සහ කාලය සම්බන්ධව නිශ්චිත වැටහීමක් නැති වෙනවා. එමෙන්ම ස්නායු පද්ධතිය සහ මාංශ පේෂි අතර සමායෝජනය දුර්වල වෙනවා. එබැවින් නිසි අවස්ථාවේ අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කළ නොහැකියි.
හෙරොයින්, ට්‍රැමඩෝල් වැනි මත්ද්‍රව්‍ය නිද්‍රාකාරක… මේවා භාවිතා කිරීමේදී රියදුරා නිදිමත ගතියෙන් පෙළෙන අතර මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වෙනවා. ඒ නිසාම ප්‍රතිචාර කාලය ඉහළ යනවා. එනම් අනතුරක් දුටු විට එය වළක්වා ගැනීම සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට නොහැකියි.
මීළඟට වැඩියෙන්ම භාවිතා කරන අයිස් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය මගින් සිදු වන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය සහ මාංශ පේශී උත්තේජනය කිරීමක්. එමගින් ව්‍යාජ ලෙස තම ආත්ම විශ්වාසය ඉහළ ඇති බව දනවනවා. මේ අනුව අපරික්ෂාකාරීව සහ වේගයෙන් රිය පැදවීමට යොමු වෙනවා. තමාගේ රිය පැදවීමේ හැකියාව පිළිබඳව අධි තක්සේරුවක් හට ගන්නවා. හදිසි අවස්ථාවකදී නිවැරදි තීරණයක් ක්ෂණිකව ගැනීමේ හැකියාව නොමැති වෙනවා. .කලබලකාරී සහ ආවේගශීලී හැසිරීම් දක්නට ලැබෙනවා. මාර්ග සංඥා නොතකා රිය පැදවීමට පෙළඹෙනවා.
මත්ද්‍රව්‍යවල බලපෑම සිරුරෙන් ඉවත් වන විට ක්ෂණිකව සිරුරට පණ නැති ගතියක් විඩා ගතියක් වෙනවා. එවිටද රිය පාලනය කිරීමේ හැකියාව දුර්වල වෙනවා.
මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් හෝ මත්පැන් සමග මත්ද්‍රව්‍ය වර්ග භාවිතා කිරීම මගින් මෙම ප්‍රතිඵලවල සංයෝගයක් ඇතිවන බැවින් ඉතා දැඩි අවදානම් තත්ත්වයක් ඇති කරනවා.
නීතිය
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ මෝටර් වාහන පනතේ 151 (අ) සහ (ආ) වගන්ති මගින් වරදක් බව දක්වා ඇති අතර ඒ සඳහා වන දැඩි දඬුවම් 2019 අංක 10 මෝටර් වාහන(සංශෝධිත) පනතේ 216 (අ) සහ (ආ) වගන්තිවල දක්වා තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීම හේතුවෙන් සිදුවන අනතුරුවලදී වාහනයේ රියදුරුට සහ එම වාහනයට සිදුවන හානිවලට පමණක් නොව තුන්වන පාර්ශ්වයට සිදුවන හානි සඳහාද රක්ෂණ හිමිකම් ලබා ගැනීමේ හැකියාවක් නෑ.
මත්ද්‍රව්‍ය පානය කොට රිය පදවන්නා සිදුකරන වරද හේතුවෙන් මෙවන් අවස්ථාවලදී ජීවිත හා දේපල හානි සඳහා තුන්වන පාර්ශ්වයට සරිලන වන්දි මුදලක් ප්‍රදානය කිරීමට නීතිය සැකසිය යුතු වීම වැදගත්.
විශේෂයෙන්ම සිදුවන ජීවිත හානි සඳහා වන්දි නොලැබීම තුළ රථ වාහන අනතුරින් මිය යන පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් දැඩි අසරණ භාවයකට පත්වන බව මෙහිලා සඳහන් කළ යුතුයි.







