අරගලයට පහර දීමේ චෝදනාවට අදාල ක්‍රියාවලියේ දී තමන් ක්‍රියාත්ම කළේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් බව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (29) අධිකරණයට දැන්වූයේය.
එබැවින් එම චෝදනාවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත් අඩංගුවට ගැනීමට ඇති සූදානම වළක්වන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළේය.
දේශබන්දු තෙන්නකෝන් ගේ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර එය සම්බන්ධව කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 3 ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබුවේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී කියා සිටියේ සිද්ධිය වූ දිනයේ සිය සේවා දායකයා හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙන බවත්, එම නඩුවේ තවමත් අවසන් තීන්දුවක් ලබා දී නොමැති බවත්, ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
නීතිඥවරයා පැවසුවේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර ඇප අයදුම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කරන ලෙසය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරමින් නඩුව අගෝස්තු පළමු වෙනිදා යළි කැඳවීමට දින නියම කළේය.







