-
සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර ලබා දෙන්න… වනජීවී නිලධාරීන්ට ජනපති දන්වයි…
වන අලි ඝාතන වළක්වා ගැනීමට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයින් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමටත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීම වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදුන්නේ වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම සඳහා විෂයට අදාල අමාත්‍යවරුන් සහ නිලධාරීන් අතර අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති රැස්වීමකදී ය.
දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්විය.
මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.
මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවත්ය. ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාවද සහභාගි කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බවද අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් දැනට පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයින් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීමට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසද දැන්වීය.
මීට අමතරව ගම්මානවලට වන අලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ (අලි සංරක්ෂණ) වී.එල්. තවුෆීන්, පරිසර කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර ද , ආරක්ෂක අංශවල නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







