නීති විරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට අද (17) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇප මත මුදා හරින ලදී
රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ චූදිතයින්ට භාර දීම සිදුවිය.
ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළාය.
මීට අමතරව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුනු ලබාගෙන වාර්තා කැඳවීමට ද, ඔවුන් පස් දෙනා වෙත විදේශ ගමන් තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට පත් කරීමට ද නියෝග කෙරිනි.







