දිනසේන රතුගමගේ –
යාපනයේ චෙම්මනි-සිතුපති සුසාන සමූහ මිනී වළේ කැණීම් කටයුතුවලදී හමුවූ පුද්ගලයින් 64 දෙනෙකුගේ අස්ථි කොටස් අතර තිබී විශේස අවධානයට ලක් වූ නිල් පැහැති පාසල් බෑගයක් සහ සෙල්ලම්බඩු සමග සොයාගත් අස්ථි කොටස් හිමිවන්නේ 6 හැවිරිදි දැරියකට බව යාපනය අධිකරණය හමුවේ තොරතුරු හෙළි වුනේය.
පෙරේදා (15) මේ කරුණු වාර්තා වන්නේ කැණීම්වල ප්‍රගතිය සම්බන්ධව අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේ දීය. කැණීම් සම්බන්ධ මීළග අදියරය ජූලි මස 21 දා සිට ආරම්භ කෙරෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනවන් සෙල්ලයියා යාපනය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු 10 දා සිට තාවකාලිකව නවතා දමා තිබුණේ මෙතෙක් ගොඩ ගන්නා ලද මිනිස් අස්ථි කොටස් ක්‍රමානුකූලව අංක යොදා සංරක්ෂණය කිරීම පිණිස කාලයක් අවශ්‍ය වූ බැවිනි.
මේ දක්වා මෙම සමූහ මිනී වළෙන් මිනිස් අස්ථි කොටස් 64 ක් හමු වී තිබිණි.
යාපනය දිසා විනිසුරු ඒ. ඒ. ආනන්දරාජා ඉදිරියේදී මෙම නඩුව විභාග වූ අතර මේ මස 21 දා සිට කැණීම් අකටයුතු ආරම්භ කිරීම පිණිසද විනිසුරුවරයා විසින් නියෝගයක් ලබා දෙන ලදී







