රෝහල් පද්ධතිය තුළ ප්‍රමිතියෙන් තොර එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව අද (11) ට යෙදී තිබුණු විධිමත් ලෙස අධිචෝදනා භාරදීම , රජයේ මුද්රණලයේ නඩුවට අදාල මුද්‍රණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සැප්තැම්බර් 16 දිනට දින නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
ඒ අද නඩුව මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවුන අවස්ථවේ දී ය.
පෙර නියෝග කළ පරිදි අද විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියද, අවශ්‍ය නීතිමය ලියකියවිලි මුද්‍රණය කිරීමේ ප්‍රමාදය හේතුවෙන් අධිචෝදනා භාර දිය නොහැකි විය.
රුපියල් 875,000 ක පිරිවැයක් සහිතව සියලුම සිතාසි සහ අදාළ ද්‍රව්‍ය මුද්‍රණය කිරීම සම්පූර්ණ කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව දින 21 ක කාල සීමාවක් ඇස්තමේන්තු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අද අධිකරණයට දැනුම් දුන්නාය. එහි ප්‍රතිඵලයක් ලෙස, අධිකරණය අධිචෝදනා ක්‍රියාවලිය කල් දැමීය.
නඩු විභාගය සැප්තැම්බර් 16 වන දින පස්වරු 1:30 ට නඩුව නැවත කැඳවීමට නියෝග කර ඇති අතර, එම අවස්ථාවේදී අධිචෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට යාමට නියමිතය.







