සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමා සහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම යනසමාගම් දෙක තුළ 2010- 2025 කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවී ඇතැයි සැලකෙන වංචා දූෂණ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මෙම ජනාධිපති විමර්ශන කමිටුවේ සභාපති ධූරයට හිටපු විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ පත් කර ඇත.
ශ්‍රි ලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත්වීමට බලපෑ හේතු සාධක සම්බන්ධයෙන් පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදුවී ඇති ගනුදෙනු සහ සිදුවීම් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සහ ඇගයීමක් කිරීම මෙම විමර්ශන කමිටුව පත්කිරීමේ අභිලාෂය බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද (02) කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.
ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වා ගැනීම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුවී ඇති බවත්, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇති බවත් මෙම ආයතන කාර්යක්ෂම ලාභ ලබන ආයතන බවට පත් කර නවීන තාක්ෂනය සමග පවත්වාගෙන යෑම මහජනතාවගේ අභිලාෂය වී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.







