රටේ කෘත්‍රිම ඉන්ධන හිඟයක් ඇති කිරීමට උත්සාහ දරනා ඕනෑම කෙනෙකුට එරෙහිව රජයක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.
ඇමතිවරයා මේ බව අද (24) ප්‍රකාශ කළේ රට පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල අවුරුදු දෙකකින් මෙපිට නොදුටු තෙල් පෝලිම් නිර්මාණය වෙමින් පවතින අතරතුරය.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙනදා පුරුදු විදිහට ජීවත්වන ලෙසත් අවශ්‍ය සැපයුම් ලබාදීමේ වගකීම රජයක් ලෙස තමන් දරන බවත් ය.
ඇමතිවරයා ඉන්ධන තත්ත්වය සම්බන්ධව පැහැදිලි කළේ මෙසේය.
“අපි ලඟ මාස දෙකකට දෙක හමාරකට අවශ්‍ය සැපයුම් තහවුරු කරලා තොග තියනවා. දෙසැම්බර් වෙනකම් අපි ගිවිසුම්ගත වෙලා තියනවා සැපයුම්වලට. අගෝස්තු අග වෙනකම් තෙල් තියනවා හොඳටම. දෙසැම්බර් වෙනකම් ප්‍රසම්පාදනය කරලා තියනවා. ”
“එහෙම කියලා අපි නිකම් ඉන්නේ නෑ. යුද්ධය මොනවා වුනත් අපි ගිය සතියෙ ඉඳන් වෙනත් කලාප දිහා බැලුවා. අප්‍රිකානු කලාපයේ සම්බන්ධතා ඇති කරගෙන යනවා. සමහර රටවල් තියනවා ඉන්ධන තියන. සම්බාධක නිසා අපට ගන්න බෑ. ඉරාකය පැත්තෙන් අවුරුදු ගානකින් අරන් නෑ.”
” මේ තත්ත්වය තුළ රටේ කෘත්‍රිම තෙල් හිඟයක් ඇති කිරීමට යමෙක් කටයුතු කරනවා නම් අපි රජය විදිහට නීත්‍යානුකූලව කටයුතු කරනවා. අපි රටට වගකියනවා. බැරිනම් බෑ කියනවා. ”
“අපි මේ කියන්නෙ මාස දෙක හමාරකට කලින්. කලබල වෙන්න අවශ්‍ය නෑ. තමන් වෙනදා ජීවිත් වෙච්චි විදිහට ජීවත් වෙන්ඩ. අවශ්‍ය සැපයුම් ටික ලබා දීමේ වගකීම අපි දරනවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. “







