එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි ගණන් මහජන මුදල් කොල්ලකෑ අපරාධයට එම ආයතනයේ අධ්යක්ෂවරියක ලෙස සම්බන්ධ වූ බවට චෝදනා ලද දීපා එදිරිසිංහ කොළඹ නාගරික මන්ත්‍රීවරියක ලෙස පෙනී ඉන්නේ රෙද්දක් ඇඳගෙනදැයි එම ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවෝ අද ( 16 ) කොළඹ මහ නගරසභා ගොඩනැගිල්ලේ ප්‍රවේශ දොරටුව අසල උද්ඝෝෂණයක් සිදුකරමින් ප්‍රශ්න කළහ.
ඇය කොළඹ මහ නගර සභාවට තේරී පත් වන්නේ පොදු ජන එක්සත් පෙරමුණෙන් බව කී තැන්පත් කරුවෝ ඇය නාගරික මන්ත්‍රීවරියක ලෙස තෝරා ගැනීමට ජනතාව ඡන්දය ලබා නුදුන් බවත්, දහස් ගණනකගේ අනාගතය විනාශ කර මහ පාරට ඇද දැමූ රටේ ප්‍රධානම මූල්‍ය අපාරාධයක් සම්බන්ධයෙන් දැනට අධිකරණය ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකාරියක වී සිටින ඇය පොදු ජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රීවරියක ලෙස තෝරා ගන්නේ පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට කළ ගුණ සැලකීමක් වශයෙන් බවත් විරෝධතා කරුවෝ කියා සිටියහ.
මෙම විරෝධතාවයේ දී මාධ්‍යයට අදහස් දැක්වූ ETI තැන්පත් කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනිය වූ අනූෂා ජයන්ති ප්‍රකාශ කළේ දැන් දේශපාලනය වෙනස් වී ඇති බව කලක් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කර අද ජනතා පරාජයක් ලැබූ කණ්ඩායම් තේරුම් ගත යුතුව ඇති බවත් ඔවුන් මේ තරම් පරාජයක් ලැබූ පසුවත් කරන්නේ දීපා එදිරිසිංහ වැනි මූල්‍ය අපරාධකරුවන් ආරක්ෂා කරමින් කරන දේශපාලනයක් ඒ දේශපාලනය සම්පූර්ණයෙන්ම අහෝසි වී යෑමට නියමිත බවය.
සභාපතිවරිය මෙසේ ද කීවාය.
“අපි අද මෙතෙන්ට අවේ දීපා එදිරිසිංහ මහත්මියට විරුද්ධව විරෝධතාවයක් කරන්න. අපි මීට පෙරත් විරෝධතා කළා. මොකද දීපා එදිරිසිංහ මහත්මිය ඡන්දය ඉල්ලනකොට ජනතාව ඇයව ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළා. මෙතුමිය නගර සභාවට එපා කියලා කතිරය ලබා දුන්නේ නෑ මිනිස්සු. ”
“ජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක් අද ඇවිත් තියනවා කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් හැටියට. අපි කියන්නෙ මෙතුමියට විරුද්ධව මේ වනවිට අධිකරණවල නඩු පවතිනවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවේ දී මේ අය ඊටීඅයි ආයතනය තුළ තැන්පත් කරපු මහජන මුදල් පුද්ගලිකව භාවිතා කළා කියලා සාක්ෂි කරුණු සහිතව අනාවරණය වෙලා තියනවා. එහෙම චෝදනා තියන ඡන්දෙනුත් ප්‍රතික්ෂේප වුන තැනැත්තියක් අද ගෙනත් තියනවා කොළඹ මහ නගර සබාවේ මන්ත්‍රී ධූරයකට. ඒකට අපි විරුද්ධයි. මොකද මෙතුමියට තමන්ගේ ආයතනයවත් හරියට පරිපාලනය කරගන්න බැරි තැනැත්තියක් කොහොමද නගර සභාවක් පාරිපාලනය කරන්නේ. ”
“එතුමිය ගියවර හිටියා කොළඹ දිළිදුකම පිටුදැකීමේ නාගරික මන්ත්‍රීවරිය හැටියට. මේ අද මිනිස්සු මහපාරේ. අද ගොඩක් අයට එන්න බෑ. රෝගී වෙලා ඇඳන්වල. අනාගතය සම්පූර්ණයෙන් විනාශ වෙච්චි මිනිස්සු පාරට වැටිලා. මෙතුමිය තමයි මෙවර වැඩිම මුදලක් වියදම් කරන්නේ පොහොට්ටුවෙන්. දිනුවත් පැරදුනත් මේ ආසනය දෙනවා කියලා ඇයට පොරොන්දුවක් දීලා තියනවග ආරංචියි. අපි අහන්නේ රෙද්දක් ඇඳන්ද ඇවිත් ඉන්නේ මන්ත්‍රීවරියක් විදිහට දිවුරුම් දෙන්න. රටේ මහජන මුදල් වංචා කරපු අය ගැන අපේ අප්‍රසාදය විරෝධය පල කරනවා පොදු ජන එක්සත් පෙරමුණයට. ”
පහත දැක්වෙන්නේ එම විරෝධතාවය පැවැත්වුන අවස්ථාව වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාව විසින් විකාශය කර තිබු ආකාරයයි.







