රජයේ රෝහල්වල බහුලව නිර්දේශ කරනු ලබන ඖෂධයන්හි හිඟයක් නොමැති බවට ජනතාවට සහතිකවන බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
ඔහු මේ බව පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති ඖෂධ හිඟයක් පවතින බවට වූ ප්‍රකාශ පදනම් කරගෙන පළකරනු ලැබූ වාර්තාවලට පිළිතුරු ලබා දෙමිනි.
වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගේ ප්‍රකාශය අද රටේ ප්රමුඛ මාධ්‍ය වාර්තා කර තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවයි.
පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරිමට ලබාදෙන කීමෝතෙරපි නික්ෂේපනය සමඟම ලබා දිය යුතු Filgrastim ඖෂධය නොමැති වීමෙන් පිළිකා රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇති ආකාරය පිළිබඳ වෛද්‍ය චමිල් විජේසිංහ උපුටා දක්වමින් අද උදේ ලංකාසර ද වාර්තා කළේය. පිළිකා රෝගීන් අත්විඳින මේ තත්ත්වය අපි අපේක්ෂා රෝහල තුළ දී පුද්ගලිකව ද දැක තහවුරු කරගෙන සිටියෙමු.
කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය විජේමුණි පැහැදිලි කළේ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි තත්වයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ලබා ගත හැකි බවය.
කෙසේ වෙතත්, සැපයුම් දාම ගැටළු හේතුවෙන් තවත් ඇතැම් ඖෂධවලට බලපෑම් එල්ල වී ඇති බව පිළිගත් නියෝජ්‍ය ඇමතිවරයා මෙම තත්ත්වයන් අලුත් දෙයක් නොවන බවත් වසර ගණනාවක් තිස්සේ පැවති තත්ත්වයක් බවත්ය.
වර්ෂ 2026 වන විට ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීම සඳහා පුළුල් පියවර දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු කීවේය.







