උපේක්ෂා උඩුවැරැල්ල –
-
විශ්වාස් කුමාර් රමේෂ්ගේ දිවි ගලවා ගැනීම විශ්වාස කළ නොහැකි පුදුමයක්… ධරුණු අනතුරක දී එක්කො සියල්ලම මැරෙනවා… නැතිනම් ජීවත් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා… මේ ජීවිතය බේරීම පැහැදිලි කරන්න බැහැ… විශේෂඥවරු කියති!
අහමදාබාද් සිවිල් රෝහලෙන් පිටත එකම ශෝකාලාපයකි. තහවුරුවන පරිදි අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා විශ්වාස් කුමාර් රමේෂ් පමණි. මේ 40 හැවිරිදි ඉන්දියානු බ්‍රිතාන්‍ය ජාතිකයා හැර යානයේ ගමන් ගත් ඉතිරි 241 දෙනාම මියගොස්ය.
242 දෙනා අතර කාර්ය මණ්ඩලයේ 12කි. මගින් 230කි. ඉන්දියානුවන් 169ක්, බ්‍රිතාන්‍ය වැසියන් 53ක්, පෘතුගීසි ජාතිකයින් 07ක් සහ කැනේඩියානු ජාතිකයෙක් ඒ අතරය. දරුවෝ 11 දෙනෙක් ද යානයේ උන්හ. දැන් විශ්වාස් කුමාර් රමේෂ් හැර අනෙක් සියලුම දෙනා ජීවතුන් අතර නැත.
පැහාදිලි කළ නොහැකි දිවි ගලවා ගැනීම
11A ආසනයේ සිටි දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ විශ්වෂ්කුමාර් රමේෂ්ගේ ඥාති සහෝදරයාවූ ධිරෙන්ද්ර සෝමබායිට ඔහු පවසා තිබුණේ තමන් ඔහු දිවි ගලවා ගත්තේ කෙසේදැයි නොදන්නා බව යැයි බීබීසී ය කීවේය. ඉන්දියා ටුඩේ සිද්ධිය මෙසේ වාර්තා කර තිබුණේය. “මහා ශබ්දයක් ඇසුණා, ගුවන් යානය ගුවන්ගත වෙමිනුයි තිබුණේ. එවිට නියමුවාගේ හඬ ඇහුණා… ‘මේඩේ! මේඩේ! මේඩේ! … මට මතක දොරකින් පැනීම විතරයි… වෙන කිසිම දෙයක් මගෙ මතකයට එන්නේ නෑ… ධිරෙන්ද්ර සෝමබායිට විශ්වාස් කුමාර් මේ බිහිසුනු අත්දැකීම පවසා තිබුණේය”
මේ දිවි ගලවා ගැනීමත් දැන් උභතෝකෝටිකයක් වී ඇත. ගුවන් සේවා විශේෂඥයින් පවසන්නේ එක් පුද්ගලයෙකු පමණක් දිවි ගලවා ගත්තේ කෙසේද යන්න “පැහැදිලි කළ නොහැකි” බවය.
ඔවුහු මෙසේ පවසති. “බොහෝ විට අනතුරු වලදී, එක්කෝ ඔබ දිවි ගලවා ගත් විශාල සංඛ්‍යාවක් දකිනවා, නැතහොත් අනතුර ඉතා දරුණු වූ නිසා ජීවත්වන කිසිවෙක් ඔබට දකින්න ඉතිරි වෙන්නේ නෑ”.
මේ වනවිට අහමාදාබාද් සිවිල් රෝහලේ රෝහලේ B7 වාට්ටුවේ 11 වැනි ඇඳේ සුවය ලබමින් සිටින විශ්වාස් කුමාර් රමේෂ් වෙත ප්රවේශයන් සීමා කර දැඩි ආරක්ෂක තත්ත්වයක් යටතේ ප්‍රතිකාර ගැනීමට ඉඩ සලස්වා තිබේ.

මළ ගෙයක් වූ අහමදාබාද් සිවිල් රෝහලේ අඳෝනාව
එකම අනතුරකින් මරණ 241ක්… අහමදාබාද් සිවිල් රෝහල මළගෙයක් සේය. විටෙක නිහඬ හැඬුම් යටපත් කරමින් වේදනාත්මක විලාපයන් ඇසේ. මේ වනවිට මිය ගිය මගීන් සියලු දෙනාගේම පාහේ ඥාතීන් අහමදාබාද් සිවිල් රෝහලේ වේදනාකාරී දිගු රාත්‍රීන් පහන් කරමින් සිටිති.
අනතුරින් මියගිය අයගේ මළ සිරුරු හඳුනා ගැනීමට ඇති එකම මාර්ගය DNA පරීක්ෂණය බව රෝහල් බලධාරියෙක් උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කළේය. සමහරු තවමත් ඔවුන්ගේ DNA සාම්පල ලබා දීමට පෝලිම්වල රැඳී සිටිති. දැනටමත් ඒවා ලබා දී ඇති අය බලධාරීන්ගෙන් සිය ඥාතියා ගැන නිශ්චය කරගැනීමේ වේදනාත්මක කල්මැරීම සමගය.
මේ අතර තවමත් මුදවා ගැනීමේ සේවකයින් අනතුර සිදුවූ ස්ථානයේ සුන්බුන් පීරමිනි. ඒ මිය ගිය මගීන්ගේ සිරුරු සොයමිනි.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය වූ ස්ථානයට සහ තුවාල ලැබූ පුද්ගලයින් රැගෙන ගිය රෝහලකට ගියේය. ඔහු වාර්තාකරුවන්ට කතා කළේ නැත. කතා කළ හැකි දෙයක් ඉතිරිව නැත. අනතුරින් එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි 242 දෙනාගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලන්ම මිය ගොස්ය.
අනතුරට හේතුව තවමත් නොදන්නා අතර වැඩි විස්තර සපයන කළු පෙට්ටි දෙක විමර්ශකයෝ තවමත් සොයමින් සිටිති. සිදුවී ඇත්තේ කුමක් ද ?. මේ මොහොත වනවිටත් ලෝකය වික්ෂිප්තවය.







