සමගි ජන බලවේගයේ රීසා සාරුක් කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට හිතට එකඟව ඡන්දය ප්රකාශ කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ නාගරික මන්ත්රී රම්සි ටෝනි විසින් පක්ෂ මූලස්ථානයට ලිඛිතව දන්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වෙත ලිපියක් යවමින් ඔහු දන්වා ඇත්තේ සමගි ජන බලවේගයෙන් කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා නම් කර ඇති රීසා සාරුක් එම ධූරය සඳහා පත් කරගැනීමට එක්සත් ජාතික පක්ෂ සභිකයින්ගේ ඡන්ද අපේක්ෂා නොකළ යුතු බවය.
කොළඹ නගර සභාවේ සභිකයෙක් ලෙස රීසා සාරුක් හැසිරී ඇති ආකාරය සම්බන්ධව මහජනතාව තුළ ඇති ප්රතිරූපය ගැන තමන් හොඳින්ම දැනුම්වත් යැයි ඔහු ප්රකාශ කර තිබේ. එවැනි දූෂිත පුද්ගලයෙක් කොළඹ නගර සභාවේ පුරපති ධූරය වැනි තනතුරක් සඳහා පත් කරගැනීමට ඡන්දය දීමට තම හෘද සාක්ෂිය අනුව හැකියාවක් නැති බව ඔහු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරිය වෙත දන්වා ඇත.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡා පවත්වා සුදුසු පුද්ගලයෙක් පත් කරගැනීමට තවමත් අවස්ථාව ඇති බව ද ඔහු ප්රකාශ කර තිබේ.
මේ සම්බන්ධව කොළඹ නාගරික මන්ත්රී රම්සි ටෝනි තවදුරටත් පැහැදිලි කරමින් වීඩියෝවක් නිකුත් කර තිබිණි. ඔහු කියන්නේ මෙවැන්නකි.
“රීසා සාරුක්ගෙන් දැනුත් මිලියන 17ක් නරග සභාවට එනන් තියනවා. ඔහු එදා ඉඳන් දූෂණයට සහ වංචාවට සම්බන්ධ වෙච්චි කෙනෙක්. ඒ වගේ කෙනෙකුට ඡන්දය ලබා දෙන්න බෑ. එ්ක මගේ ප්රතිපත්තියට ගැලපෙන්නෙ නෑ. මම එහෙම කෙනෙකුට ඡන්දය ලබා දුන්නොත් මම අවුරුදු 25ක් කැපවෙලා රැකපු දූෂණ විරෝධී ප්රතිපත්තිය වතුරෙ යනවා.
ඒ නිසා මම ඉල්ලා සිටිනවා අපේ කණ්ඩායමට හොඳ නගරාධිපතිවරයෙක් තෝරලා දෙන්න. ඒකයි මම ඉහළ නිලධාරින්ගෙන් ඉල්ලන්නේ. මොන හේතුවක් උඩවත් මේ වගේ කම්බ හොරුන්ට මට ඡන්දයක් දෙන්න පුලුවන් කමක් නෑ. ”







