මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පොසොන් මහා පිංකම මෙවර අති උත්කර්ෂවත් අන්දමින් මේ මස 09 සිට ලබන 15 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඓතිහාසික ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පැවසූහ.
මෙම පින්කමට සමගාමීව අපවත් වී වදාළ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ 30 වන ගුණ අනුස්මරණ පිංකමද මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඊට සමගාමීව සත්වරු පිරිත් දේශනයද 09 වෙනිදා රාත්‍රීයේදී ආරම්භ වන බව රාහුලාලංකාර නාහිමියෝ පැවසූහ.
මෙවර සිංහල, දමිළ, මුස්ලිම්, ආදිවාසී සංස්කෘතීන්ට මුල්තැන දෙමින් පැවැත්වෙන මිහිඳු මහා පෙරහර 12 වෙනිදා රාත්රියේදී වීදි සංචාරය කරන අතර, පැමිණෙන දායකකාරකාදීන්ට දන්සල්, ඇතුළු සියලු පහසුකම් සලසා ඇති බවද රාහුලාලංකර නාහිමි සඳහන් කළහ.
මෙම දින කිහිපය පුරා දන්සල්, තොරන්, භක්ති ගීත ගායනා, මෙන්ම විශේෂ පින්කම් රැසක් සිදුකෙරෙන බව දිඹුලාගල පොසොන් මහා පිංකම් කමිටුව පවසයි.
එළැඹෙන 15 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම පොසොන් මහා පිංකමේදි, රටටත්, ජාතියටත්, සතර පේරුවේ දායක කාරකාදීන්ටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද රාහුලාලංකාර නාහිමියො ප්‍රකාශ කළහ.







