ශ්‍රියානි විජේසිංහ –
දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා තිබෙන එබැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන්හි කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස දන්වා, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ප්‍රමාණය ඉක්මවූ භීතියක් මවන අනවශ්‍ය එකක් බව දන්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යවා තිබේ.
“මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම” යන ශීර්ෂය යටතේ 2025.06.02 දාතමින් යුතුව සියලුම කාර්ය මණ්ඩල දැනුම්වත් කරමින් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) විසින් මෙම ලිපිය යවා තිබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන් යැවූ ලිපියෙන් බස්නාහිර පළාත් ලේකම්ගෙන් ඉල්ලා ඇත්තේ පලාත් සභාව විසින් යැවු අදාළ ලිපියේ නිකුත් කරන ලද උපදෙස් නැවත සලකා බලා කටයුතු කරන ලෙසය. ඔහු පෙන්වා දෙන්නේ කාර්යාල තුළ මුඛ ආවරණ පැළදීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමේ අවශ්‍යතාවයක් මේ අවස්ථාවේ දී පැන නොනගින බවය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් COVID 19 ගෝලීය වසංගතය වර්ෂ 2023 මැද භාගයේ දී නිමා වීමෙන් පසුව ශ්වසන රෝග ආවේක්ෂණය සහ පාලන ක්‍රියාවලිය යටතේ COVID 19 රෝගය ද අනෙකුත් බෝ වන රෝග ගණයට ඇතුළත් කර ඇති බව සඳහන් කර තිබේ.
ඒ බැවින් ඉන්ෆ්ලුවන්සා වැනි ශ්වසන රෝග තත්වයක් වැසි කාලයේ දී වැඩිවීමත් සමග COVID 19 රෝගය ද ඇතිවීමේ හැකියාවක් තිබෙන බවත් පොදුවේ ගත් කළ ශ්වසන රෝග කළමනාකරණය සහ වළක්වා ගැනීම පොදු ක්‍රමවේදයන් අනුව සිදු කරන බවත් දක්වා ඇත.
එබැවින් COVID 19 වළක්වා ගැනීම ද විශේෂ අවදානම් තත්වයක් ලෙස දැනට සැලකීමට අවශ්‍යතාවයක් නොමැති බව ද මෙම අවස්ථාවේ දී මෙවැනි විශේෂිත ක්‍රියාමාර්ග පොදුවේ නිර්දේශ කිරීමෙන් අනිසි ප්‍රථිපල ඇතිවිය හැකි බව ද අදාළ ලිපියේ සඳහන් කර ඇත.
මේහි දී වැඩිදුරටත් අදාළ ලිපිය මඟින් කරුණු දක්වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ආයතන වෙත මෙවැනි නි ර් දේශ ලබා දීම අනිසි බියක් ඇති වීම සහ එදිනෙදා කටයුතුවලට බාධාකාරී තත්වයක් උද්ගත වීමට බලපානු ඇතැයි ද එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසා බලා පමණක් මෙවැනි උපදෙස් ලබා දෙන්නේ නම් මැනැවැයි ද දන්වා තිබේ.
තව ද මෙම වකවානුවේ දී මුව ආවරණ වැනි මෙවලම් පොදුවේ නි ර් දේ ශ නොකළ යුතු අතර පෞද්ගලික ආරක්ෂාව පිණිස යම් අයෙක් ස්වේච්ඡාවෙන් හෝ වෛද්‍ය උපදෙස් මත මුව ආවරණ පළදින්නේ නම් ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බව ද ලේකම්වරයා අදාළ ලිපියේ සඳහන් කර ඇත.
තව ද, කැස්ස, සෙම්ප්‍රතිශයාව (ඉන්ෆ්ලුවන්සා වැනි) ඇති අය සේවයට පැමිණීම සීමා කිරීමේ අවශ්‍යතාවයක් නැතැබවත් ලෙක්ම්වරයා දන්වයි. පෞද්ගලික ස්වස්ථාවය පවත්වාගැනීම සහ අන් අයට රෝග බෝ වීමේ හැකියාව අඩු කිරීම සඳහා එවැනි රෝග ලක්ෂණ ඇති අය පමණක් මුව ආවරණ පැළදීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ලේකම්වරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.







