සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අධිකරණයේ විත්ති කූඩුව මත දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාර වෙඩික්කරුවූ සමිඳු දිල්ෂාන් පියුමංග අද (04) ඉදිරිපත් කළ හඳුනාගැනීමේ පෙරට්ටුවක දී සාක්ෂි කරුවන් දෙදෙනෙකුට හඳුනාගැනීමට නොහැකි වී තිබේ.
අපරාධය සිදුකළ දින අංක පහ අධිකරණ ශාලාවේ රඳවා සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මෙම සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී පසුගිය (21) දින කළ නියෝගයක් පරිදි පෙරට්ටුව අද පස්වරුවේ පැවැත්වූයේය.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද ආවරණ සහිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පෙරෙට්ටුවෙන් පසු සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලීගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබුණු අතර ඔහු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එදින සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







