මේ සතියේ දී වසර 20 ක සිරදඬුවමක් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වසර 25 ක සිර දඬුවම් නියම වූ හිටපු වෙළෙඳ අමාත්‍ය සහ හිටපු සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ රාජකාරි සඳහා යොදවා ඇති බව ආරංචි මාර්ග පවසයි.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් සහ මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරුවන් වූවන් රඳවා සිටින බන්ධනාගාරයේ ‘චැපල්’ අංශයේ ඔවුන් දෙදෙනාම මේ වනවිට එකට රඳවා තබා ඇත. බන්ධනාගාරයේ මුද්‍රණ අංශයෙන් සිදුකරන්නේ බන්ධානාගාර පරිපාලනයට අත්‍යාවශ්‍ය ලියකියැවිලි මුද්‍රණය කිරීමය.
බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ, ඔවුන්ගේ සිර දඬුවම් විඳීමට අදාළ වාට්ටුවල තැබීමේදී බලධාරීන් වරදකරුවන් දෙදෙනාගේ ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බවය. ඒ ඔවුන්ට දේශපාලන සතුරන් සිටිය හැකි බවට වූ පුරෝකථනය මතය.
අලුත්ගමගේ මහතාට වසර 20 ක බරපතල සිර දඬුවමක් නියම වූ අතර, රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ පසු මහාධිකරණ නඩු විභාගයකින් නලීන් ප්‍රනාන්දුට වසර 25 ක බරපතල සිර දඬුවමක් නියම කරන ලදී.
2015 ජනාධිපතිවරණ සමයේදී සතොස හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කර පක්ෂයේ තරුණ සමාජ වෙත බෙදා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල විය.
රැඳවියන් දෙදෙනා සම්බන්ධ අභියාචනා පත්‍රිකා සකස් කිරීම සඳහා තීන්දුවේ සහතික කළ පිටපතක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ නීතිඥයින් ඊයේ පැවසීය. අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලනු ඇත.







