කලාවේ නියුතු වූවන් කිසිදු විශේෂ වරප්‍රසාද ඇති අය නොවන බවත් කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් සහිත ප්‍රතිලාභ ලාභීන් නොවන බවත් මේ පිරිස රැකියාවෙන් ඉවත් වූ දා සිට සියලු දේ අහිමි පිරිසක් බවත්, මාලනී ෆොන්සේකා රංගන ජීවිතයෙන් පරිබාහිරව විශාල කැපකිරීමක් කළේ මේ සමස්ථ කලාකරුවන්ගේ ජීවිතවල සුබසාධනය වෙනුවෙන් බවත් ඇයගේ අවමංගල සභාව අමතමින් සිංහල සිනමාවේ ජීවමාන අග්‍රගන්‍ය නළු රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රකාශ කළේය. මාලනිය හැමදාම කැපවීමකින් ප්‍රාර්ථනා කළ ඇයගේ සිහිනය ඉටුවේවා යන්න ඇයගෙන් සමු ගන්නා මේ මොහොතේ ප්‍රාර්ථනා කරන බවත් රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවේය.
වසර 60ක් සිය ජනප්‍රියත්වය සහ ගෞරවය එක් දශමයක් පහළට පත්වන්නට ඉඩ නොදී ලෝකයේ කිසිම සිනමා නිලියක විසින් අත්පත් කර නොගත් ගෞරවයක් සහ ජන ප්‍රසාදයක් සහිත මේ අනුපමේය කලාකාරිණිය ජීවත්ව සිටි අවධියේ ජාතියක් ලෙස අප ඇය ප්‍රමාණවත් සම්මානයට පාත්‍ර කළා දැයි තමන්ට සැකයක් ඇති වන බවත් රවීන්ද්‍ර රන්දෙණිය කීවේය.
ඔහු අවමංගල සභාව අමතමින් මෙසේ ද පැවසුවේය.
මම අවමංගල උත්සව බොහෝ ගණනක කතා කරලා තියනවා. ඒ දිගු කාලය තුළ මේතරම් හැඟුම්බර, මේ තරම් හදවතට ශෝකය දැනෙන විදිහට කිසිම අවමංගල උත්සවයක කතා කර ඇතැයි මට මතක නෑ.
මාලනීගේ වියෝව…. කවර හේතුවක් නිසාද මට මේ තරම් දැනෙන්නේ. මා දන්නවා මා වගේම සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළත් අද ඇවිලෙන්නේ මහා ශෝකාකූල මහා ගින්නක්.
ඇයි මේ…
මගෙන් පුද්ගලිකව ඇහුවොත් මට හිතෙනවා මගේ ජීවිතය සමග සම්බන්ධව අවරුදු 50ක කාලයක් එක දිගට සහෝදරත්වයෙන්, වෘත්තීය සහෝදරත්වයෙන්, ඒ වගේම ඤාතිවරයෙකුට වැඩිය කිට්ටුවෙන් ඒ වෘත්තීය සම්බන්ධතාවය නොකිලිටිව ඉතාම ගෞරවාන්විතව පවත්වාගෙන එන්න ඈ මට උදවු වුනා. ඤාතිවරියක් වගේ.
මගේ කලා ජීවිතයේ උද්දීපනය කරගන්න මට ඇගෙන‍් ලැබුණු ගුරුහරුකම්, අවවාද මෙන්ම සහයෝගය මම හිතන්නේ එය මගේ ගමනට ආලෝකයක් වුනා.
ඒ වගේම අනෙක් අතින් ඇයි මේ තරම් වේදනාවක් දුකක්. මේ ඇතිවුන රික්තය, මේ ඇතිවුන හිදැස කවදාවත් අපේ දේශීය සිනමාවට පිරිමහන්නට බැරි, කවදාවත් ඒ වෙනුවට ආදේශකයක් හොයන්නට බැරි, අද නෙමෙයි, තව අවුරුදු සීයකටවත් ඒ වටිනාකම අපේ දේශිය සිනමාවට නොලැබෙන බවට වන සංවේදනය තමයි ඊලඟට මගේ හිතේ තියෙන්නේ. එතුමිය ඒ තරම් ජනතාවගේ සිත් තුළ මෙන්ම අපේ සිනමා කර්මාන්තය තුළත් කවදාවත් නොමැකෙන ඉතිහාසගතවන චරිතයක් බවට පත් වුනා.
මට හිතෙනවා ඒ සියල්ල එතුමිය ගැන සඳහන් කළ මහා අදාර්ශ ලැබෙන ඉතාම වටිනා දේශන. මට හිතුනා කතා කරන්න මාලනිය දේශීය සිනමාවට, මේ රටේ කලාකාරිනියක ලෙස මොන තරම් අසම සම ද, මොන විදිහකටවත් තක්සේරුවකට ලක් කිරීමට බැරි තරම් මේ සිනමාවට ලබා දුන්නා. මේ සිනමා ඉතිහාසය දෙස ආපහු හැරිලා බැලුවොත් එවැනි දායකත්වයක් දැක්වූ ශිල්පියෙක් හෝ ශිල්පිනියක ගැන අපට හිතා ගන්න අමාරු වෙනවා.
ඇයගේ රූපණවේදයේ තිබුණ අති දක්ෂතාවය, ඒ වගේම මධ්‍ය කෙරෙහි තිබුණ ගෞරවය කරුණාව ඒ සියල්ල තුලින් ඇය වර්ධනය කරගත් ඇයගේ පරිමාව සිනමා කර්මාන්තය තුළ කිසිම කෙනෙකුට කවදාවත් නැවත ඇති කරගන්න ලැබෙන්නේ නෑ.
අවුරුදු 78ක ජීවිත කාලයෙන් අවුරුදු 60කට පෙර ඇය පුංචි බබා චිත්‍රපටයෙන් පුංචි බබෙක් වගේ සිනමාවට ඇතුළු වෙලා මේ සිනමාවේ මේ කාලය තුළ සිනමාවේ අග්‍ර රාජිණිය, මහේෂිකාව ලෙස කිරුළු පැලැන්දුවා පමණක් නොව, ඒ කිරුළ ඒ හා සමාන ජනප්‍රියත්වයෙන් කිසිදු අඩුපාඩුවක් වෙන්නේ නැතිව ඒ ජනප්‍රියත්වය අඟලකින් පහළට නොයවා රැක ගන්න පුලුවන් කමක් ඇයට තිබුණා.
මොන තරම් භාග්‍යයක් ද. ඇය සිනමාවට පිවිසිලා අවරුදු 60ක්. පසුගිය සතියෙත් ඇයගේ අලුත්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනයට පත් වෙනවා… “ආකාස කුසුම්”
අවුරුදු 60කට පස්සේ ඇයගේ අලුත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. එහි නිකම් පෙනී සිටින චරිතයක් නෙමෙයි. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරමින ඇය සිනමාවට පිවිසෙන්නේ. මෙය ලෝක වාර්තාවක් නෙමෙයි ද කියලා හිතන්න. ලොකයේ මහා බලසම්පන්න රටවල්වලින් සිනමා කලාවට බිහිවුන දැවැන්ත චරිත අපට මතක් වෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු සිනමාවේ ඒ මහා චරිත… වෛජයන්ති මාලා, නූතාන්ලා… ඒ වගේ අති විශිෂ්ට චරිත… ඔවුන් ඒ රඟ දැක්වූ කාලය තුළ ඒ වයස් සීමාවන් ඉක්මවනවිට ඔවුන් සිනමාවෙන් ඉවත් වෙලා බැහැලා ගියා.
ලෝක සිනමාවේත් එලිසබත් ටේලර්ලා සෝෆියා ලොරෙන්ලා … මේ අය ලෝකයම දෙවනත් කරගෙන හිටියා. නමුත් අවුරුදු කීපයකින් පසු බැස ගියා. ඒ ආකාරයෙන් බලන විට මාලනී ෆොන්සේකා මහත්මිය අවුරුදු 60ක් සිනමාවේ අග රැජිනිය ලෙස මේ පවත්වාගෙන වාර්තාව ලෝකයේ කොහෙවත් හොයාගන්න බෑ. මා ඒකයි කිව්වේ ආශ්චර්යයක් වගෙයි. අවුරුදු 60කට පස්සේත් ඇය ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපට ජනතාව අතරට එක් වෙනවා. ඒක වෙන්නේ කොහොමද?
ඇය දැක්වූ මේ මහා නිසග ප්‍රතිභා ප්‍රභාව මිස වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි. කාටද පුලුවන් ලැබෙන ලැබෙන චරිතයට ඒ විදිහට අනුවර්තනය වෙමින් මේ සැබෑ චරිතයක් කියාය ස්ථිරව දැනෙන විදිහට කුළු ගන්වමින් අවුරුදු ගානක් එහෙම පවතින්න.
මේ මහා රංගවේදිනිය දේශයට ලබා දුන් කීර්තියට අප ජාතියක් ලෙස ඒ ආකාරයටම ප්‍රතිචාර දැක්වූවා ද. එය ඒ ආකාරයට අගය කළාද කියලා. රසික ප්‍රණාමය අප්‍රමාණව කිසිම රංගන ශිල්පියෙක් නොලැබුන විදිහට තිබුණා. නමුත් මා හිතනවා ඇයව මීට වඩා මහා ගරුත්වයකින් සැලකිය යුතුව තිබුණා කියලා මා හිතනවා.
අපි දන්නවා ඇය ඉන්දියාවේ හිටියා නම් භාරත රත්න සම්මානයෙනුත් පිදුම් ලබනවා. එතරම් මා හැඟි සේවාවක් ඇය කළා. අපි ඇයට අඩුම ගානේ ඒ අසලින් යන සම්මානයක්වත් දුන්නේ නෑ. කාලයකට කලින් ඇය යම් රාජ්‍ය ගරුත්වයක් ලැබුවා. රටේ ජනතාව නම් ඇයට දරාගන්න බැරි සම්මාන ගොන්නකින් ජීවිතයේ කිසිම ශිල්පියෙකුට ලබන්න බැරි මහා සම්මාන ගොන්නකින් එතුමියට පුද උපහාර දැක්වූවා.
මෙය අප යම්කිසි ආකාරයකින් කල්පනාවට ගත යුතු දෙයක් ජාතියට කෙරෙන මෙහෙවර සිනමාව අතින් විතරක් නෙමෙයි, සංස්කෘතික අතින් කොතරම් ලෝක පූජිත කලා කරුවන් අපේ රටින් අප බිහිකරලා තියනව ද?. මහාචාර්ය සරච්චන්ද්‍රයන්, අපේ නන්දා මාලනිය… මේ ලෝක පූජිතත්තවයට පත් විය යුතු මහා කලාකරුවන්… නමුත් අපි ජාතික වශයෙන් ඔවුන්ට ලැබෙන ප්‍රණාමය… අප දන්නවා කලාවේ මාලනියගේ අවමංගල උත්සවයක කතා නොකළ යුතු දේ කියාත් හිතෙන්න පුලුවන්.
නමුත් මා මෙය මෙතනදී සඳහන් කළේ දේශීය සිනමාවේ ශිල්පීන් වෙනුවෙන්, දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් මාලනී ෆොන්සේකා තමන්ගේ ජීවිත කාලයම කැප කළා. ඉතාම පරිත්‍යාගයෙන් ඉතාම වෙහෙස මහන්සියෙන් තමන්ගේ කාලය ශ්‍රමය ධනය වැය කරමින් මේ රටේ කලාකරුවන්ගේ සියලු අවස්ථාවලදී වෘත්තීය පිළිබඳ මැදිහත් වෙලා ඉතාම ක්‍රියාකාරීව මැදිහත් වෙලා ඒ වෙනුවෙන් සටන් කළා. අන්න ඒ නිසයි මා හිතන්නේ එතුමියට උපහාර දක්වන මේ මොහොතේ යම් සඳහනක් කරන්නට.
කලාවේ නියුතු අය දන්නවා කිසිම විශේෂ රැකියාවක් කරන අය මෙන් විශේෂ වරප්‍රසාද ඇති අය නෙමෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන් කිසිම ප්‍රතිලාභයක් නෑ. ඔවුන් රැකියාවෙන් ඉවත් වූ දාට සියලු දේ අහිමි වෙනවා. මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න කලාකරුවන් වෙනුවෙන් විය යුතුයි කියන එක මාලනී ෆොන්සේකා මහත්මියගේ සිහිනයක් ලෙසින් තිබුණා. එතුමිය හැමදාම ඉතාම කැපවීමකින් ප්‍රාර්ථනා කළ ඇයගේ බලාපොරොත්තුව ඉටුවේවා කියන එකත් මා ප්‍රාර්ථනා කරනවා ඇයට සමු දෙන මේ මොහොතේ…
අපට කරන්න තියෙන්නේ මේ ලෝක යථාර්ථය පිළිගන්න. මේ අවමංගල උත්සවය මේ තරම් ගෞරවනීය විදිහට අවස්ථාව සලසපු රජයට මගේ ගෞරවනීය ආචාරය පුද කරනවා.







