“දූෂණය” නැමති වරද සිදුකළේ යැයි පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (20) නියෝග කළාය.
සැකකාර රමිත් රඹුක්වැල්ලට හෙට (21) දින අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කළාය.
2021 සහ 2023 අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය ,සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් , දීමනා සහ අතිකාල දීමනා ලබාගෙන ඒවා පිළිමතලාව ප්‍රදේශයේ පෞද්ගලික ගිණුමකට බැර කොට එම මුදල් දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් 8,058,814ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැමිණිලි තුනක් අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
මෙම පැමිණිලි අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකරුවකු ලෙස රමිත් රඹුක්වැල්ල නම් කරන බව දැනුම් දුන්නේය.
රමිත් රඹුක්වැල්ලට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීම් කර තිබුණද ඔහු මෙතෙක් පැමිණ ප්‍රකාශයක් ලබාදී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින රමිත් රඹුක්වැල්ලට හෙට දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහෙස්ත්රත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.







