ජනතාව පණිවිඩයක් ලබා දී ඇති බවත් ඒ පණිවියට ඇහුම්කන්දීම දේශපාලන වගකීමක් බැවින් සමගි ජන බලවේගය සමග සාකච්ඡාවට පැමිණි බවත් පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසුවේය.
ඊයේ (16) දිනය වනතුරු ප්‍රතිපත්ති සුරක්ෂා කරමින් ජනතා මතයට ගරු කරන දේශපාලන ප්‍රවේශයක් ලබා ගන්නවා විනා අන්ත දක්ෂිණාංශික ලිබරල් දේශපාලනයක් සමග සන්ධානගත වීමට පොහොට්ටුවට හැකියාවක් නැති බව කී පොහොට්ටුවේ මහලේකම්වරයා අද ප්‍රකාශ කළේ ජනතා ලබා දී ඇතැයි කියන පණිවිඩයකට ඇහුමකන් දිය යුතුව ඇති බවය.
සාගර කාරියවසම් මේ බව කීවේ විපක්ෂයට බහුතර ආසන සංඛ්‍යවක් හිමි පලාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන සහ සමගි ජන බලවේගය අතර අද (17) ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ හෝටලයක පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.
ඔහු අද කියන්නේ විපක්ෂයක් ලෙස එකට එකතු වීමේ අභිලාෂයක් පොහොට්ටුවට නැති නමුත් ජනතාව ලබා දුන් පනිවිඩයට ඇහුකන් දීමේ වගකීමක් ඇති බවය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ පක්ෂ ලේකම්වරු ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව කළ මේ සාකච්ඡාවට සහභාගී වී ආපසු පිටව යන අතර මාධ්‍ය අමතා ඔහු කීවේ මෙවැන්නකි. .
” අපේ ප්‍රතිපත්ති වෙනස්. නමුත් මේ රටේ ඡන්ද දායකයො දීලා තියනවා යම් කිසි පණිවිඩයක් සියලු දේශපාලන පක්ෂවලට. අපට දේශපාලන පක්ෂ හැටියට වගකීමක් තියනවා රටේ බහුතරයක් ජනතාව ලබා දුන්න පණිවිඩයට ඇහුම්කන් දෙන්න. ඒ පණිවිඩයට කොහොමද ඇහුම්කන් දෙන්නේ කියන කාරණාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ…” සාගර කාරියවසම් පැවසුවේය.
කොළඹ බලය ගන්න නම් සමගියත් එක්ක එකතු වෙන්න ඕන නේද? මාධ්‍ය ඇසුවේය.
එකතු වීම කියන්නෙ වෙනම දෙයක්. ජනතා මතයට ගරු කිරීම කියන්නේ තව දෙයක්. එකතු වීමක් නෙමෙයි. මේ කරන්නේ ජනතා මතයට ගරු කිරීමක්.







