රටේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දස දෙනා අතර සිටින කුප්‍රකට අපරාධකරුවෙක් වු දැනට විදේශ රටක සැඟවී සිටින පරෙයි සුද්දා නොහොත් පොඩි සුදු නැමැත්තා විසින් එක්තරා පදනමක හරහා සංවිධානය කර වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගනය අසල කෝටි පහකට වඩා වැඩි මුදලක් වියදම් කර දින 03ක් තිස්සේ පැවැත්වූ බව කියන දන්සලක් සම්බන්ධව මේ වනවිට විමර්ශන අංශවල අවධානය යොමු වී තිබේ.
මැයි මස 11 වැනිදා ආරම්භ කර ඇති මෙම දන්සලේ මුල් දිනයේ දී දස දහසකට ආසන්න පිරිසකට රුපියල් දස දහසක වටිනාකමක් සහිත බඩු මල්ලක් බෙදා හැර තිබේ. මුල් දිනයේ පමණක් මෙම ජාවාරම්කරු දන්සල සඳහා වියදම් කළ මුදල කෝටි 10කට ආසන්න බව විමර්ශන අංශ පවසයි. සුපිරි වෙළඳසලකින් ඇනවුම් කළ බඩු මල්ලකට අමතරව ඉස්තරම්ම වර්ගයේ සහල් කිලෝ 10ක පැකට්ටුවක් සෑම පුද්ගලයෙකුටම ලබා දී ඇති අතර භාණ්ඩ ලබා දී ඇත්තේ සංවිධායකයා විසින් කලින් නිකුත් කළ ටෝකන් එකකටය. මෙම බඩු මළු අදාල ස්ථානයට ඇනවුම් කළ ආයතනවලින්ම ලොරි පිටින් ප්‍රවාහනය කර තිබී ඇත.
මුල් දිනයේ බඩු බෙදීම රාත්‍රි 8 තෙක් පැවතී ඇති අතර පොලිසියෙ දැනුම් දීම මත තාවකාලිකව අත්හිටුවා පසුදින උදෑසන සිට යළිත් ආරම්භ කර තිබේ.
දෙවැනි දිනයේ බත් පැකට් දස දහසක් එම ස්ථානයේ දීම බෙදා හැර ඇත. ඒ සමගම බත් පැකට් ලබා ගන්නා පුද්ගලයින්ට අයිස්ක්‍රීම් ලොරි දෙකකින් අයිස්ක්‍රීම් බෙදා හැර තිබේ.
ඊයේ දිනයේ නැවත වරක් එම ස්ථානයේදීම ලොරි වලින් රැගෙන ආ බිත්තර 10 පැක් 2 බැගින් ලොරි දෙකකින් බෙදා හැර තිබිණි. අද උදෑසන එම බිත්තර පැක් ලබා ගත් මත් කුඩු ලෝලීන් පැක් දෙකම රුපියල් 500ට බොරැල්ලේ වීදිවල අලෙවි කරමින් ගොස් ඇති අයුරු නිරීක්ෂණය වී තිබේ.
විමර්ශන අංශ පවසන්නේ මේ අවස්ථාව ඩ්‍රෝන කැමරාවලින් පටිගත කරමින් එම දර්ශන සජීවීව නැරඹීමට විදේශගතව සිටින පරෙයි සුද්දාට අවස්ථාව සලසා දීමට ඔහු වෙනුවෙන් මෙම දන්සල සංවිධානය කළ පිරිස කටයුතු කර ඇති බවය. එමෙන්ම ඔහුගේ මුදල් කළමනාකරණය කරන කාන්තාවක් ස්ථානය අසල නිවසක සිටිමින් ඒ සියල්ල නිරීක්ෂණය කරමින් සිට ඇත.
විමර්ශන අංශ පවසන්නේ මේ බඩු බෙදා දීමේ මෙගා දන්සල සංවිධානය කර පදනම සම්බන්ධව ගැටලුවක් ඇති බවත්, එම පදනමේ ලියාපදිංචිය සම්බන්ධව ද ගැටලු ඇති බවත්ය.







