සූරියවැව නුවන් ජයසේකර –
තංගල්ල පැරැණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා විසින් තමන් වෙත පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කල බවට එම රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරීවරයා විසින් තංගල්ල පොලීසියට අද (09) පෙරවරුවේ පැමිණිල්ලක් සිදු කර තිබේ.
මෙලෙස තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කරඇත්තේ තංගල්ල පැරැණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යභාරය නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබන ආනන්ද ලියනගේ නමැති උප පොලිස් පරීක්ෂකවරයා විසිනි.
මධ්‍යස්ථානයේ රඳවා සිටින හරක් කටා සිරමැදිරියේ සිට පැයක කාලයක් එළිමහනේ තබා යලි සිර මැදිරිය වෙත යැවීමට කටයුතු කළ අවස්ථාවේ රඳවියා ඊට විරෝධය දක්වමින් ” උඹ අනුන්ගේ සීනි කිරන්න එපා” යැයි පවසා පවසා පරුෂ වචනයෙන්ද බැණ වැදී තර්ජනය කර තිබේ.
පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමෙන්අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
උප පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය එල්ල කරඇති නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා පෙරවරු 7.45 සිට පෙරවරු 8.45 දක්වා පැයක කාලයක් සිර මැදිරෙන් එළියට ගෙන එළිමහනේ රඳවා තිබූ අවස්ථාවේ මෙලෙස පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බව පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.
සැකකාර පුද්ගලයා මීට පෙර අවස්ථාවන්වලදීද මේ ආකාරයෙන්ම අනෙකුත් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදින බවද පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







