මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත කොස්ගහඋල්පත පිරිනිවන් මංචකය අසල භාවනා යෝගීව සිටි භික්ෂූන් වහන්සේ නමකට පොලු මුගුරු සහ අතින් පයින් පහරදුන් බව කියන සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ 03 වෙනිදා සවස අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
පහර කෑමට ලක්ව ඇත්තේ භාවනායෝගීව වැඩ වාසය කළ තිරිකුණාමලයේ සිරි ධම්මාලංකාර නාහිමියන් බව පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය කියයි.
තුවාල ලත් භික්ෂූන් වහන්සේ මේ වනවිට පොළොන්නරුව මහ රෝහලේ දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
කොස්ගහඋල්පත ආසන්නයේ භාවනා කරන ස්ථානයට කිලෝමීටර් කිහිපයක් නුදුරින් නීත්‍යානුකූලව ගල්වලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට හිමිනම අවස්ථා කිහිපයකදී, ගල්බෝර දැමීම තම භාවනාවට බාධාවක් බවට පවසා විරෝධය පෑම මෙම පහරදීමට හේතු වී ඇති බවට සැකකරන බවද පොලිසිය පවසයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එම්.එස්.එම්. ජරූල් ගේ මෙහෙයවීමෙන් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.







