ලලිත් චාමින්ද –
ගාල්ල කොටුපවුර මතින් ඇද වැටිමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු ඊයේ (26) රාත්‍රි මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ තවලම ගමගේ ජනිත් චන්දුල (21) නැමති කුරුදුවත්ත, හපුගල ,වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මොහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹිට ගොස් ඇත. මොහු ගාලුකොටුවේ පැරණි ප්රදිපාගාරය අසලදි (තරුණයින් මුහුදට පනින ස්ථානය) කොටුපවුර මතින් ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බව පොලිසිය පවසයි. මොහු කොටුපවුර මතින් ඇදවැටෙන අයුරු මිතුරන් විසින් දැක නොමැති බවද පොලිසිය පවසයි.
තරුණයා කොටුපවුර මතින් ඇද වැටි බරපතල තුවාල ලබා සිටියදි පොලිස් නිලධාරින් විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත්කොට ඇත. ඒවනවිටත් මෙම තරුණයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මියගිය තරුණයා තම පියා සහ මව සමග නිවසේ සිටියදි ඊයේ (26) පස්වරුවේ දි ඔහුගේ මිතුරකුගෙන් සිය ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලැබි ඇත. මම එන්නම් යනුවෙන් ඔහු මිතුරාට පවසා තිබේ. මියගිය තරුණයාගේ පියා විසින් සිය යතුරුපැදියෙන් මොහු ගාල්ල කොටුවට ඇරලවා ඇත. සිය පුතු කොටුපවුර මතින් ඇදවැටි රෝහල්ගතකොට ඇති බවට පියාට දැනුම් දි ඇත්තේ පොලිසියෙන් බව පියා අප සමග පැවසීය.
මියගිය තරුණයාගේ පියා ගුරු උපදේශකවරයෙකු වන අතර මව ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන්නිය. මියගිය තවලම ගමගේ ජනිත් චන්දුල මෙම යුවළගේ එකම පුතුවන අතර ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකි.
මෙම තරුණයා කොටුපවුර මතින් ඇදවැටෙන අයුරු මිතුරන් පවා දැක නොමැති අතර මියගිය තරුණයා සමග ගාලුකොටුව නැරඹිට පැමිණි මිතුරන් සිව් දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (27) ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි. ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.







