රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමක් සහිත අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නීතියේ රැහැනට හසුකරගැනීමට නාවික හමුදාව විසින් සිදුකළ විශිෂ්ට සමුද්‍ර මෙහෙයුමකින් හැකි වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 අප්‍රේල් මස 11 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම බහු දින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට ඊයේ (12) රැගෙන ආවේය. අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා රට තුලට රැගෙන ඒමට උත්සහ කල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 77යි ග්‍රෑම් 484ක පමණ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42යි ග්‍රෑම් 334 ක පමණ තොගයක් සොයා ගැනීමට හැකි විය.
එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ඊයේ (12) සවස භාරදීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාධිපති විසින් එම මත්ද්‍රව්‍ය තොගය ඊයේ දික්ඕවිට වරායේ දී නිරීක්ෂණය කළේය. එම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායක වූ සියළුම නාවික හමුදා පුද්ගලයන් සහ අනෙකුත් පාර්ශ්වයන් ඇගයීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.







