බදුල්ල දිස්ත්රික පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක ලබන 1 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල් පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක් පාඩුවක් කළැයි යන සිද්ධියක් මුල් කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද උදේ කැඳවූ චාමර සම්පත් දසනායක කැඳවූ මන්ත්රීවරයා ප්රකාශ සටහන් කරගැනීමෙන් පසු අත් අඩංගුවට ගනු ලැබුවේය.
පළාත් සභාවේ ගිණුම් කල් පිරීමට පෙර ඔහු එක්තරා රාජ්ය බැංකුවෙන් මුදල් ඉවත් කරගන්නේ බැංකුවට පාඩමක් ඉගැන්වීම සඳහාය. කතාව මෙසේය.
චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්ය බැංකු 3කින් මුදල් ඉල්ලා සිටියේය.
ඉන් රාජ්ය බැංකු දෙකකින් මුදල් ලැබිණි. එක් රාජ්ය බැංකුවක් රුපියල් ලක්ෂ 10 දුන්නේය. අනෙක් රාජ්ය බැංකුව රුපියල් ලක්ෂ 25 දුන්නේය. චාමර සම්පත් එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කර ගත්තේය.
තුන්වැනි රාජ්ය බැංකුව මුදල් ලබා දීම ප්රතික්ෂේප කළේය. බැංකුවට පාඩමක් ඉගැන්වීමට චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ නමට එම බැංකුවේ තැන්පත් කර තිබූ ස්ථාවර තැන්පතු 6ක් කල් පිරෙන්නට පෙර බැංකුවෙන් ඉවත් කරගත්තේය.
මෙමගින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු කළේය.
පසුව ඔහුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලි වෙත ඉදිරිත් කරනු ලැබුවේය. ඒ චෝදනා තුනක් ගොනු කරමිනි.
ඉන් චෝදනා දෙකකට ඇප ලබා දුන් මහේස්ත්රාත්වරිය ගිනුම් කල් පිරීමට පෙර මුදල් ලබා ගෙන රජයට පාඩු කළ බවට වූ චෝදනාවට චාමර සම්පත් දසනායක මන්ත්රීවරයා ලබන 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.







