මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟෙන් මේ දිනවල ගොඩ දමන වැලි ප්රමාණවත් නොවීම, සහ එලෙස ගොඩ දමන වැලිවල මිල ඉහළ යෑමත් සමග පාරිභෝගිකයින් මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රයේ බොහෝ දෙනා දැඩි අසීරුතාවට පත්ව සිටිති.
ශ්රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් පවතින, හොඳම වැලි ලෙස සලකන මනම්පිටිය මහවැලි ගඟෙන් ගොඩ දමන වැලි කියුබ් තුනක් මේ වනවිට එම සමාගම මගින් නිකුත් කරන්නේ රුපියල් 26,700 ක මිලකටය.එලෙස සමාගම මගින් රුපියල් 26,700 කට නිකුත් කරන වැලි කියබ් තුන අනුරාධපුර දිස්ත්රික්කයට ප්රවාහනය කිරීමේදී ටිපර් රථ හිමිකරුවන් රුපියල් 85,000 ක් වන බවත්, කොළඹ ප්රදේශයට ප්රවාහනය කරන විට එය රුපියල් ලක්ෂය ඉක්මවන බවත් වැලි සමාගමේ නියෝජිතයකුගෙන් අප කළ විමසීමකදී පැවසීය.
මනම්පිටිය මහවැලි ගඟේ වැලි මංකඩ 154 ක් පිහිටා තිබෙන අතර එහි කම්කරුවන් 1000 කට වැඩි ප්රමාණයක් රැකියාව කරති. , වැලි කියුබ් එකක් ගොඩ දැමීම සඳහා වැලි ගොඩ දමන කම්කරුවෙකුට ගෙවන ලබන්නේ රුපියල් 3,300කි.
සතියේ දින පහ පුරාම මනම්පිටිය මහවැලි ගඟෙන් වැලි ප්රවාහනය කිරීම සඳහා ලොරි රථ පන්සියයකට වැඩි ප්රමාණයක්
දෛනිකව පැමිණෙන අතර එලෙස පැමිණෙන ලොරි සඳහා ටෝකන් ක්රමයට වැලි පටවනු ලබයි. මනම්පිටිය වැලි සමාගමේ ස්ථානභාර නිලධාරී එච්.එම්.ඩබ්ලිව්.ඩී.ජයමාල්ගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ එක් ලොරියකට සතියකට වැලි පටවා ගැනීමට ලැබෙන්නේ එක් අවස්ථාවක් වීමත්, කම්කරුවන්ගේ හිඟයත්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑමත් වැලි මිල ඉහළ යෑමට හේතු වි ඇති බවය.







