මනම්පිටිය නිමල් ජයරත්න –
තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබාදෙන රුපියල් 6000 ක වවුචරය කදුරුවල සී.අයි.බී. ආයතනයට ලබාදී විදුහල්පතිවරයා විසින් භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද ත්‍රිකෝණමඩු මුස්ලිම් මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියකු විසින් ලිඛිතව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට ඊයේ (19) පැමිණිල්ලක් සිදුකර තිබේ.
විදුහල්පතිවරයා විසින් අදාළ භාණ්ඩ ලබාගත් පසු තමාගේ ජංගම දුරකථනයට එම පණිවිඩය ලැබුණු බවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.
ත්‍රිකෝණමඩුව මුස්ලීම් මහා විද්‍යාලයේ 01 වසරේ ඉගෙනුම ලැබු අංක 235, කුඩාපොකුණ, වැලිකන්ද ලිපිනයේ පදිංචි මොහොමඩ් ෆාරිස් නුරුල් අනාන් යන දරුවාට පාසල් පොත් හා උපකරණ ලබා ගැනීමට එම වවුචරය ලබාදී තිබිණි.
තම දරුවා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා පෙබරවාරි මාසය තුළ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක් වෙත මාරු කරගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව අදාළ වවුචරය ලබාදීම ප්‍රතික්ෂේප කළ පසු තමන්, මේ පිළිබඳ වැලිකන්ද පොලිසියටත්, දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට මෙන්ම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවටත් ලිඛිතව දැනුම් දී ඇති බවද එම දරුවාගේ පියා වන එම්.ෆායිස් සඳහන් කරයි.
අප මේ පිළිබඳව විද්‍යාලයේ විදුහල්පති අයි.එල්.නසාර්ගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ, රුපියල් 6000 ක වව්චරය ලබාදීමට අදාල දරුවාගේ නම ඇතුළත් කිරීමෙන් අනතුරුව, දරුවා පාසලෙන් ඉවත්කර කුරුණෑගල ප්‍රදේශයේ පාසලකට රැගෙන යාමට කටයුතු කළ බවත්, තම විද්‍යාලයේ දරුවන් එකසිය හයක් වෙනුවෙන් රජයෙන් වව්චර් ඉල්ලා සිටියද ලැබුණේ ඉන් අඩක් පමණක් බවත් පැවසුවේය.
එම තත්ත්වය මත පාසලෙන් ඉවත් කරගත් දරුවාගේ වවුචරය අඩු ආර්ථික පහසුකම් මැද අධ්‍යාපනය ලබන වෙනත් දරුවෙකුට ලබාදීමට කටයුතු කළ බව ද විදුහල්පතිවරයා කිවේය.
ඒ අනුව එම දරුවාගේ පියා විසින් අදාළ පාසල් උපකරණ ලබාගෙන තිබෙන බවත්, එම වවුචරයෙන් තමන් භාණ්ඩ ලබාගත් ෙබවට නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් විදුහල්පතිවරයා කීවේය.
මේ පිළිබඳව දිඹුලාගල අධ්‍යාපන කලාපීය අධ්‍යාපන අධ්යක්ෂ අනිල් කුමාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ විදුහල්පතිවරයා පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්, දරුවාට හිමි වූ වවුචරය වෙනත් දරුවකුට ලබාදීමට අයිතියක් නොමැති බවත්ය.
ඒ සම්බන්ධ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව ද ඔහු පැවසුවේය.







