යාපනය ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ ආගමික ස්ථාන සම්බන්ධව මතුවෙමින් ඇති ගැටලු ඉතාම ඉවසීමෙන් සහ සංහිඳියාවෙන් විසඳා ගැනීම සඳහා රජය කටයුතු කරන බව කී බුද්ධ ශාසන ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවයෙක් මතුකළ වාර්ගික වෛරය ඇතිවන ආකාරයට මේ රජය උතුරු පළාතේ කටයුතු කිරීම සම්බන්ධව කෙරෙන චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කරන බව අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ කාරකසභා විවාදයේ දී උතුරේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. යාපනයේ තිස්ස විහාරය, මුලතිවු කුරුන්දි විහාරය, වඩිනාගල විහාරය ඇතුළු උතුරේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව මතු කළ කරුණු සම්බන්ධව පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“යාපනයේ තිස්සතිස්ස විහාර තුනක් දකින්න පුලුවන් යාපනය ප්‍රදේශයේ. වලිකමාම් උතුරු ප්‍රදේශයේ එකක්. ඒ තිස්ස විහාරයේ තයිඅඩි ප්‍රදේශයේ තිස්ස විහාරය කැණීමකට ලක් කළා. එතන තියන ගැටලු කීපයක්ම මතුවෙන්නේ ඉඩම් නිරවුල් කරගැනීම සම්බන්ධව. බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉඩම් පවරා ගැනීමක් කරගන්න බලතල නෑ.”
“නමුත් අපි දන්නවා මේ ප්‍රදේශවල තිියන ගැටලු ඉතාම සංහිඳියාවෙන් ඉවසීමෙන් පරීක්ෂා කරලා විසඳන්න ඕන බව. අපේ එක් මන්ත්‍රීවරයෙක් කිව්වා සුළුතර ජනතාවගේ වෛරය ඇතිවන විදිහෙ වැඩ සිදුවන බව තවමත්. අප ඒ කාරණය නම් ප්‍රතික්ෂේප කිරීමක් කරන්න ඕන. අප මෙවර අයවැයෙන් සෑහෙන බරතැබීමක් තියලා තියනවා උතුරුකරයේ සංවර්ධනයට. ජාතීන් අතර සංහිඳියාවට. ”
“පුරාවිද්‍යා මැදිහත්වීම්වලදි අකටයුත්තක් සිදුවන බව දන්වලා තිබුණා. අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වුනා. එතනදි විශේෂයෙන්ම දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු නැගෙනහිර පළාතේ දි දෙමළ භාෂා දැනුම සහ කතාකරන නිලධාරීන් 81 දෙනෙක් සේවය කරන බව වාර්තා වුනා. පුරප්පාඩු සඳහා දෙමළ භාෂාවෙන් සේවය කළ හැකි නිලධාරීන් බඳවා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැන ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු කරන බවත්, ඒ ජනතාවගේ බාධාවක් නොවන ආකාරයේ වැඩපිළිවෙළක් එම ස්ථාන මුල් කරගෙන සිදුකරන බවත් ජනාධිපතිවරයා දැන්වූවා.”
“කුරුන්දි විහාරය ගැන මතු කරපු කරුණු ගැන කියන්නට ඕන. මේ පිළිබඳව ඇතිවුන ගැටලුව පිළිබඳ ගැඹුරු අවධානයක් ලක් කරලා තියනවා. මේ පිළිබඳව විද්වත් කමිටුවක් පත් කරලා තියනවා. මේ තත්ත්වය සමතයට පත් කරන තුරු කුරුන්දි ප්‍රදේශයේ ගවේෂණයට පුරාවිද්‍යා නිලධාරීන් යොදවා නැති බව කියන්න ඕන.”
“එමෙන්ම වඩිනාගල ප්‍රදේශයේ තියෙන ගැටලුවේ දි දෙපාර්තමේන්තුව අනුමත කර ඇති නිර්දේශ ඉක්මවා පුද්ගලයින් ක්‍රියා කිරිම තමයි මේ කාරණයටත් හේතු වෙලා තියෙන්නේ. ”
“අවසන් වශයෙන් හින්දු කෝවිල සම්බන්ධව මතු කළ ප්‍රශ්නයට… මිලියන 35ක් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කොට තිබෙන බව මතක් කරන්න ඕන. හින්දු සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතුවේ තියනවා රුපියල් මිලියන 42ක්. ඒ අරමුදලේ පොලියෙන් අවශ්‍ය සංවර්ධන කටයුතුවලට මුදල් යොමු කරනවා. ඒ සඳහා හින්දු කටයුතු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරන්න. ”







