ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කරමින් අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
ඊයේ (22 )රාත්‍රී කාලයේ සහ අද (23) අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා කළ මෙම මෙහෙයුමේ දී නීතී විරෝධී ලෙස දේශීය ජල තීරය තුළ මසුන් ඇල්ලීමේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කර එම ධීවර යාත්‍රා පහ (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙහිදී නාවික හමුදාවට නීත්‍යානුකූලව ඉන්දීය ධීවර යාත්‍රා වෙත ගොඩවී පරීක්ෂා කිරීම සඳහා ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) අනුකූලතාවය දක්වා තිබිණි.
තවද, මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනා (32) තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර ඉදිරි තීනිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
මේ වසර ගතවූ මාස 02ක තුළ පමණක් ධීවර කොල්ලයක යෙදුන ඉන්දීය ධීවර යාත්‍රා දහ අටක් (18) සහ ඉන්දීය ධීවරයින් එකසිය තිස් එක් දෙනෙකු (131) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.







