ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරිමට අයවැයට යෝජනාවන් ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න වහාම සොයා බැලිය යුතු බවත් එම යෝජනාවන් ඉදිරිපත් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජය අතර ගැටුමක් ඇතිකිරිමට ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවත් සංගමය පවසයි.
ලබන සතිය තුළදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කල බවත් සෞඛ්‍ය ඇමතිවරයාගේද මැදිහත් වීම අවශ්‍ය බවත් සංගමය දැනුම් දී සිටියි.
කෙසේ නමුත් වෛද්‍යවරුන්ට අයවැය මගින් සිදුව ඇති දීමනා කප්පදුව වහාම නිවැරදි නොකළහොත් ගත හැකි උපරිම පියවරයන් ගැනීමට සංගමය පසුබට නොවන බව මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණ කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කරයි.
වසර 10ට පසුව රාජ්‍ය නිලධාරින්ගේ මූලික වැටුප වැඩිකර දුන් නමුත් වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරිම හරහා මූලික වැටුප් වැඩිවිමේ ප්‍රතිලාභය වෛද්‍යවරුන්ට භුක්තිවිදීමට නොහැකි තත්ත්වයක් උදාකර ඇතැයි හෙතෙම පැවසුවේය.
වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරිමට ප්‍රථම අදාල පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර තීන්දු තීරණයන් ලබා ගත යුතුව තිබූ නමුත් එසේ කර නොමැති බැවින් අයවැය ලේඛණය සකස් කිරීමේදී මෙවැනි තීන්දු තීරණයන් ලේඛණයට ඇතුළත් කළේ කවුරුන්ද යන්න පිලිබඳව වහාම සොයා බැලිය යුතු යැයි වෛද්‍ය චමිල් පවසා සිටියි.
ජනාධිපතිවරයා සහ සෞඛය ඇමතිවරයා හැම විටම පෙනී සිටියේ රටේ වෛද්‍යවරුන්ට හොඳ හෙට දවසක් නිර්මාණය කිරීමට හා ඔවුන්ව රටතුළ රදවා ගැනීමට බවත් එසේ තිබියදී මෙවැනි තීරණයන්ගෙන් අර්බුද ඇතිකිරිම අවශ්‍යතාව ඇත්තේ කාටද යන්න සංගමය ප්‍රශ්න කර සිටින බවත් හෙතෙම පැවසුවේය.
රටේ අනෙකුත් රාජ්‍ය සේවකයින්ට ඇත්තේ අතිකාල දිමනාවක් වුවද වෛද්‍යවරුන්ට පමණක් ඇත්තේ සුවිශේෂී ආවේනික දීමනාවක් බව ආණ්ඩුවේ ඇතැම් නිලධාරීන් සහ කණ්ඩායම් නොදන්නා බව ඔවුන් මාධ්‍ය වෙත පැමිණ කරන ප්රකාශයන්ගෙන් ගම්‍ය වන බව වෛද්‍ය චමිල් පෙන්වාදේ.
වසර 1980 සිට මෙය වෛද්‍යවරුන්ට ලබා දෙන දිමනාවක් බවත් එය සියයට 50කින් පහත හෙලීම තුළ වෛද්‍යවරුන් ඉච්ඡාභංගත්වයක් ඇති ව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.







