ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ පාතාලයේ ඔහුගේ පරම හතුරාවන ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් බව විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.
මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති ගණේමුල්ල සංජීවට කෙහෙල්බද්දර පද්මේගේ පියාවන නෙවිල් පෙරේරා ඝාතනය කිරීමේ චෝදනාව ද එල්ල වී තිබුණි.
කෙහෙල්බද්දර පද්මේ

කෙහෙල්බද්දර පද්මේ තවමත් 37 හැවිරිදි කඩවසම් මෙන්ම උගත් තරුණයෙකි. උඩුගම්පල මහා විද්‍යාලයෙන් සහ කඳාන මැසනොද් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ සමත් ව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර පැහැසර අනාගතයක් පෙන්නූ තරුණයෙකි.
කෙහෙල්බද්දර පද්මේ නමින් ඔහු පාතාලයට ප්‍රවේශ වන්නේ ගණේමුල්ලේ සංජීව විසින් ඔහුගේ පියා වූ නෙවිල් පද්මසිරි ඝාතනයේ පළිය ගැනීම සඳහාය.
පද්මේගේ ඝාතන සැලසුම
පද්මේගේ සැලසුම හොලිවුඩ් චිත්‍රපටයක ජවනිකා මෙන්ම තියුණුය. තිගස්වන සුළුය. 2023 ජනවාරි මුල් සතියේ සිට උසාවි සංකීර්ණයට ඇතුළුවන නීතිඥවරුන් සහ උසාවි භූමිය ආරක්ෂක පරීක්ෂාවකට ලක් වන්නේ නැත.
එමෙන්ම උසාවිය තුළ අවි සහිත රාජකාරියේ යෙදීමට කිසිම ආරක්ෂක නිලධාරියෙකුට නීතියෙන් හැකියාවක් නැත. විශේෂ කාර්ය බලකායට අධිකරණ ශාලා වෙත ප්රවේශවීම තහනම්ය. ඒ සියලු තත්ත්වයන් විමර්ශනය කර නීතිඥයෙක් ලෙස වෙස්ගන්වා වෙඩික්කරුවා එවන්නේය.
ඔහුත් කදිම පෞරුෂයක් සහිත නීතිඥ ඇඳුමින් සැරසුන විට කිසිම සැකයක් නොසිතෙන පෙනුමක් සහිත අයෙකි. ඔහු යුද හමුදාවේ හිටපු සෙබලෙකි. නම මොහොමඩ් අස්ලාම් ෂෙරීෆ් ඩීන්ය. සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි නමින් වූ හැඳුනුම්පතකින් ද, නීතිඥ වරයෙක් ලෙස පෙනි සිටින කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක නමින් නීතිඥ හැඳුනුම්පතක් ද ඔහු විසින් සකසාගෙන තිබිණි.
කාන්තා නීතිඥ චරිතය
ඔහු සමගම තවත් කාන්තාවක් නිතිඥවරියක ලෙස අලුත්කඩේ අධිකරණ භූමියට ඇතුළු වන්නීය. ඇය පොලිසිය හොඳින්ම දන්නා මත්කුඩු ජාවාරම්කාරිය වූ පින්පුර දේවගේ ඉසාරා මධුවන්තිය. ඉසාරා මීගමුව කටුවැල්ලේගම පදිංචිකාරියකි. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය තුළ සඟවා ඝාතකයාට ගිනි අවිය රැගෙන එන්නේ ඇයය. ඇය ගිනි අවිය ඝාතකයාට සපයා දි නික්ම යන්නීය. ඇය කෙහෙල්බද්දර පද්මේ සමග එක්ව ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති ආකාරය දැන් අනාවරණය වී ඇත.
ඝාතකයා වූ මොහොමඩ් අස්ලාම් ෂෙරෆ් ඩින් විත්තිකූඩුව තුළ ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කර ඇතුළේ වෙඩි තැබීමක්වන බවට කෑ ගසමින් වියවුල්කාරී තත්ත්වක් අති කර නිදහසේ අධිකරණ භූමියෙන් පිටවී යන්නේය.
මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක්වන වෙඩික්කරු පාතාල අපරාධ ගණනාවකට සම්බන්ධ කුලී ඝාතකයෙකි. ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වි ඇතැයි විමර්ශන අංශ කියයි.
ඝාතනයෙන් අනතුරුව ඔහු රටින් පැනගන්නට සැලසුම් කර තිබේ. ඒ වනවිට රටේම පොලිස් ස්ථාන සීරුවෙන් තබා තිබුණේ මෙම අපරාධකරු සොයා ගැනීම සඳහාය. මන්නාරමේ දී අත් අඩංගුවට පත් වන්නේ ඒ පලා යන ගමනේ දී ය.







