අද උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.
සංජීවට වෙඩි තැබූ තුවක්කුකරුට රිවෝල්වරය ලබා දීම සඳහා එය අධිකරණ භූමිය වෙත රැගෙන ගොස් ඇත්තේ නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන සිටි කාන්තාව විසිනි.
නීතීඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණයට ඇතුළු වී පසුව අදාළ කාන්තාවගෙන් ගිනි අවිය ලබාගෙන ඇති බව විමර්ශනවලදී ආනාවරණය වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, නීතීඥ ඇඳුමෙන් සැරසී පැමිණි සාහසිකයා සංජීවට වෙඩි තැබීම සිදුකළේ අධිකරණය තුළ විත්ති කූඩුවෙන් බසින්නට ආසන්න අවස්ථාවේ දී බවය.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සංජීව රෝහල්ගත කළ අතර රෝහලේදී ජීවිතක්ෂයට පත් විය.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වරය උසාවිය තුළ තිබී සොයා ගැනුණි. නීතිඥ උපදේශන කාමරයේ තිබී එය සඟවාගෙන පැමිණීමට භාවිත කළ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. මෙහිදී වෙඩි තැබීමෙන් පසු ඇති වූ කලබලය අතර අදාළ රිවෝල්වරය බිම දමා වෙඩික්කරු ප්‍රධාන දොරටුව ඔස්සේ පලා ගොස් ඇති බව සඳහන් වෙයි.







