කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) ඇති වූ ගිනිගැනීම් දෙකකින් පසු එම ගොඩනැගිල්ල අවට ආරක්ෂක විධිවිධාන තර කර ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් යොදවා ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල තහවුරු කළේය.
මෙම ගිනිගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා ලබා ගැනීමට නියමිතව තිබේ.
දැනට ඉදිවෙමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වන මහලේ ඊයේ ගින්නක් හටගත් අතර ගිනි නිවන රථ හයක් ආධාරයෙන් එය නිවා දැමුවේය.
පෙරේදා 35 වැනි මහලේ ගින්නක් හටගත්තේය. එය 34 වැනි මහල දක්වා පැතිර ගියේය. ගිනි ගෙන තිබුණේ ගොඩනැගිල්ලේ දැවමය කොටස්ය. ගිනි නිවන රථ 08ක් යොදවා පැය ගණනාවක් පුරා ගිනි නිවීමේ මෙහෙයුමක් දියත් කර ගින්න නිවා දමනු ලැබුවේය.







