කීර්ති ප්‍රනාන්දු –
සියලුම ජාතීන් ආගමිකයින් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්වීම මේ මොහොතේ ඉතාම වැදගත් බවත් එම ජනතා අභිලාෂය ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයේ දී අත් දුටු බවත් කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (01) නිට්ටඹුව මීසමට අයත් ඉතිහාරිය කලගෙඩිහේන ප්‍රදේශයේ ඉදිකළ දේව මාතාවන් හට කැපකළ අභිනව නව දේවස්ථානය ආසිරි ගැන්වීමට එක්වෙමිනි.
සියලුම ජාතීන්ට සියලුම ආගමිකයින්ට පැමිණ විඩා නිවාගත හැකි අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් ලෙස සැලසුම් කර ඇති මෙම දේවස්ථානය ආසාරි ගැන්වීමෙන් අනතුරුව කළ දේශනයේ දී කාදිනල් හිමියෝ මෙසේ ද පැවසූහ.
“තරගකාරිත්වය, නීති රීති සහ ඉන් ලැබෙන පීඩනවලින් තැලී පොඩිවී ඉන්න මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය සෞම්‍යශීලී ලෙස ජීවත් විය යුතු පරිසරයක් අපි නිර්මාණය කළ යුතුයි.
ශ්‍රී ලංකාව තුළත් අපි එය දකිනවා. ඉතාම සංවේදී ලෙස අපේ ජනතාව බලපොරොත්තු වෙනවා සෞම්‍යශීලී මෘදු ගතිගුණ. නීති රීති බලපුලුවන්කාරකම්, චන්ඩිකම් තමන්ගේ දේශපාලන ශක්තිය යොදවලා මිනිස්සුන්ව තලා දැමීම යටපත් කිරීම සිදු නොකර මෘදු අවංක සෞම්‍ය යහපත් ගතිගුණවලින් තමන්ගේ ජීවිත පුරවා ගත යුතුව තිබීම අද ලොකු අවශ්‍යතාවයක්.”
මා දැක්කා ඊයේ අපේ ජනාධිපති තුමා යාපනයට ගිය වෙලාවේ ඒ ජනතාව දක්වපු ආදරණීය පිළිගැනීම. එතැනදි එතුමා ඉතාම නිහතමානී විදිහට ඒ අය සමග සංකලනය වෙලා ඒ අය සමග මිශ්‍ර වෙලා ඒ අය අතර ඉතාම හොඳ මිතුරෙක් සහෝදරයෙක් වගේ එකතු වුනා. මා හිතන්නේ එය අපේ රටේ සෑම දේශපාලන නායකයෙකුටම ඉගෙනගත හැකි පාඩමක් විදිහට මා හඳුන්වා දෙන්නට කැමතියි. .
අද සමාජය තුළ මේ සංකීර්ණත්වය මිනිස්සුන්ව නීති රීතිවලින් තලලා පෙළලා මිනිස්සුන්ව අසහනයට පත් කරන්නට උත්සාහ කරනවාට වඩා සෞම්‍යශීලී මෘදු ක්‍රමවේදයක් ඇති කරලා සහෝදරත්වය වර්ධනය කරලා සුහදතාවය වර්ධනය කරලා අපේ රටේ ජීවත්වන සෑම ආගමිකයෙක්ම, සෑම පුරවැසියෙක්ම සහෝදරත්වයෙන් අප රට තුළ එකමුතු කිරීම තමයි අපට ලැබිලා තියන ලොකුම අභියෝගය.
එක්දාස් නවසි අසූ ගණන්වල මේ රටේ පටන් ගත්තු ඒ අවසානාවන්ත යුද්ධය නිසා අපේ රට කෑලි කෑලිවලට කැඩෙන ස්වරූපයකට යන්න පටන් ගත්තා. දැන් අපිට තියන අභියෝගය තමයි අපේ රට නැවත එකමුතු වීම. එසේ එකමුතු වීමේ අභියෝගය සහිත කාලයක් දැන් පැමිණ තිබෙනවා. ඒ එකමුතු වීමේ ආශාව අපි දුටුවා ඊයේ අපි දැකපු දර්ශනවලින්…. කාදිනල් තුමෝ කීහ.







