දිනසේන රතුගමගේ –
වවුනියාවේ පෞද්ගලික වෙළෙන්දන් සෑම වර්ගයකම තෙත වී කිලෝවක් සදහා ගෙවන මුදල ඊයේ ( 1 දා) සිට රුපියල් 96 දක්වා පහත දමා තිබේ.
මේ අනුව නාඩු සම්බා කීරි සම්බා යන සෑම වර්ගයකම වී කිලෝවක් සඳහා ගෙවනු ලබන්නේ කිලෝවකට රුපියල් 96 ක මුදලකි.
මීට පෙර එක් කිලෝවක් සදහා 120 බැගින් ගෙවන ලද අතර එම මිල රුපියල් 110 , 100 යන මිල ගණන් වලට අඩු වී මේ වන විට පවතින්නේ රුපියල් 96 කටය.

මේ නිසා මේ දිනවල අස්වැන්න නෙලන ගොවීහු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. උතුරු ප්‍රදේශයට කඩින්කඩ වසින වැස්ස නිසා ගොවීන් සතු වී තොග වේලා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ තත්ත්වය තවත් බරපතලවී තිබේ.
තෙත වී කල් තබා ගැනීමෙන් තවත් විශාල පාඩුවක් ගොවීන්ට විදීමට සිදුවන නිසා ඔවුහු පෞද්ගලික වෙළෙන්දන් විසින් නියම කොට ඇති රුපියල් 96ක මිලකට වී අලෙවි කිරීමට පටන් ගෙන ඇත.
මීට අමතරව ගොවියා විසින් වී ටැක්ටර් ලෝඩ් එකක බර විශාල තරාදියෙන් කිරීම පිණිස රුපියල් 750 ත් 1000 ත් අතර මුදලක්ද වී තොග ටැක්ටරයෙන් වී මෝල් හිමියාගේ ගබඩාවට බෑම පිණිස එක් වී ගෝනියකට රුපියල් 50 බැගින්ද ගෙවිය යුතුව තිබේ.
වවුනියාවේ පෞද්ගලික වෙළෙන්දට ගොවීන් විසින් වී තොග ලබා දීමේදී එදිනම මුදල් ගෙවීමක් සිදු නොකෙරන අතර මුදල් ලබා ගැනීම සදහා තවත් අවස්ථා තුනක් හෝ හතරක් වෙළෙන්දා සොයා ඔහුගේ වී මෝලට යාමට සිදුව ඇත.
මේ සෑම වී අලෙවි කිරීමකින්ම ගොවියාට දැඩි අලාහයක් විදීමට සිදුව ඇති අතර සිය කුඹුරු වගා කිරීමට නොව අස්වැන්න නෙලීමට ගිය වියදම හෝ වී තොග අලෙවි කිරීමෙන් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි තත්තයකට වවුනියාවේ ගොවීන් පත්ව සිටිති.
වවුනියාවේ ගොවීන්ගේ වී තොග මිලට ගැනීම සදහා මේ දක්වාම රජයේ මැදිහත් වීමක් නොමැති බව වවුනියාවේ ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටිති.







