පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 18 සහ 19 දෙදින තුළ විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගන්නා සීමිත තරග විභාගය පැවැත්වූ දිනයේ විභාගයට පෙනී නොසිට විදේශගතවී සිටි කාන්තා පොලිස් පරීක්ෂක වරියකද විභාගය සමත්වූවන් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවීම හේතුවෙන් මේ වනවිට පොලිිිසිය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
විභාගයට පෙනී නොසිටියත් 2023/11/ 18 සහ 19 දෙදින තුළ පැවැත්වූ ලිඛිත විභාග ප්‍රතිඵල මත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට මෙසේ කැඳවා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්යක්ෂ වරයකුගේ කාර්යාලයේ සේවය කරමින් සිටින කාන්තා පොලිස් පරීක්ෂකවරියකි.
මෙම විභාගය පැවත්වූ අවස්ථාවේ සිට එක්තරා පොලිස්පතිවරයෙකුගේ සහ ඔහුගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂවරයෙකුගේ අභිමතය පරිදි ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහා වැදගත්වන පිරිසක් තෝරාගෙන ලිඛිත විභාගයේ මුවාවෙන් සහකාර පොලිස් අධිකාරී තනතුරු පිරිනැමීමේ උත්සාහයක් පිළිබඳව පොලිසිය අභ්‍යන්තරයේ දැඩි කතා බහක් ඇති විය.
එමෙන්ම පොලිසිය තුළ සුදු පුතා යැයි කුප්‍රකට පොලිස් ප්‍රධානියෙකුගේ මැදිහත්වීමෙන් මෙම විභාගය සඳහා සකස් කළ ප්‍රශ්නපත්‍ර පිළිතුරුත් සමග ඔවුන්ගේ සමීප නිලධාරී පිරිස් වෙත ලබා දුන් බවත්, පොලිස් පරීක්ෂකවරියන් ලෙස සේවය කරන ස්වකීය කිට්ටු හිතවතියන් වෙත ඇතැම් උසස් පොලිස් නිලධාරීන් විසින් එම ප්‍රශ්න සහ පිළිතුරු ලබා දුන් බවත් පොලිසිය අභ්‍යන්තරයෙන්ම ඒ දිනවල චෝදනා එල්ල වූයේය. විභාගයට පෙනී නොසිටි කාන්තා පොලිස් නිලධාරිනිය ලිඛිත විභාග ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමත් සමග මේ දූෂිත තත්ත්වය තහවුරු වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි .
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විභාගයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ ආකාරයෙන් ආන්දෝලනයට ලක් වී ඇති ආකාරය අනුව මේ පිළිබඳ පැහැදිලි කරගැනීමක් විභාග දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් අවශ්‍ය බවත්, මෙවැනි තත්ත්වයන් ජාතික ආර්ථික දේහය සඳහා සුදුස්සන් වරණය කරන විශ්වාසනීය ආයතනය වූ විභාග දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයටත් යහපත් නොවන නොවන බවත් දෙපාර්තමේන්තුවේ විභාගයට පෙනී සිට වින්දිතයන් බවට පත් වූ පිරිස් පවසති.
එමෙන්ම මේ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවේ නිල පැහැදිලි කිරීමද පොලිසිය අභ්‍යන්තරයෙන්ම අපේක්ෂා කරමින් ඇත.







