කොළඹ වරායේ බණ්ඩාරනායක BQ IV පර්යන්තයේ කන්ටේනරයක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
බස්නාහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගිනි නිවීමේ කණ්ඩායම විසින් හදිසි ආපදා තත්ත්වයට කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර, ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ආසන්න වශයෙන් රාත්‍රී 7.45ට පමණ BQ IV පර්යන්තයේ කන්ටේනරයකින් දුමාරයක් පිටවන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු කොළඹ වරාය පාලන කාර්යාලය වහාම බස්නාහිර නාවික විධාන මෙහෙයුම් මැදිරිය අමතා නාවික හමුදාවේ විශේෂිත ගිනි නිවීමේ කණ්ඩායමෙන් සහය ඉල්ලා තිබේ.
අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන්, නාවික හමුදාව බටහිර නාවික විධානයෙන් රසායන, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික (CBRN) කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක් කඩිනමින් ගිනි නිවන රථ ද සහිතව එම ස්ථානයට යොමු කරවා ඇත.
නාවික හමුදාවේ ගිනි නිවන භටයන් එහි පැමිණ කන්ටේනරයේ අගුළු ඇර බැලූ විට ගබඩා කර තිබූ පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍යවල කොටසක් ගිනිගෙන ඇති බව සොයා ගෙන තිබේ.
අනතුරුව වරාය සේවකයින්ගේ සහ වරාය ගිනි නිවන ඒකකයේ සහය ඇතිව රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කර ගින්න සාර්ථක ලෙස පාලනය කර පැතිර යාම වළක්වා ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වරාය බලධාරීන්ගේ කඩිනම් සම්බන්ධීකරණ ප්රයත්නයන් හේතුවෙන් කිසිදු තුවාල හෝ සැලකිය යුතු හානියකින් තොරව තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වු බව වරාය ආරංචි මාර්ග කියයි.







