77 වන නිදහස් දින සැමරුම සඳහා රජය රුපියල් මිලියන 80 (කෝටි 08)ක් වෙන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න අද පැවසීය.
ආරක්ෂක හමුදා වැනි අනෙකුත් ආයතනවලට මේ කෝටි අටට අමතරව වෙනම අයවැයක් ඇති බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් වෙන් කරන ලද අරමුදල් තුළ වියදම් සීමා කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ පැවසුවේ මෙවර නිදහස් දින පෙළපාළියට සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 4,421 ක් පමණ සහභාගී වන බවය.
ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 2,052 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 668 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 776 ක්, පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ 549 ක්, සිවිල් ආරක්ෂක බලකායේ 370 ක් සහ ජාතික කැඩෙට් බළකායේ 550 ක් පෙළපාළියට සහභාගී වීමට නියමිතය.







