අලි ගහන වනය මැද පිහිටි ලංකාව පුදුම කරන ශිෂ්‍යත්ව ප්‍රතිඵල වාර්තා කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයට අයත් එරියාව මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව සමත් ප්‍රතිඵළය සියයට 89ක් ලෙස වාර්තා වී තිබේ.
විශේෂත්වය වන්නේ කිසිම වරණයකින් තොරව අවට ගම්වල දෙමව්පියන්ගේ දරුවන් පාසලට ඇතුළු කරගෙන දරුවන්ට පීඩාවක් නොදෙන පූර්ණ අධ්‍යාපන ක්‍රියාවලියක් ඔස්සේ දරුවන් සංවර්ධනය කරමින් පාසල විසින් මෙම විශිෂ්ට ප්‍රතිඵලය අත් කරගැනීමය.
මෙවර එරියාව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් විභාගයට පෙනී සිටියහ. ඉන් දරුවන් 24 දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ වන ලකුණු 143ට වැඩි ඉහළ ලකුණක් ලබාගෙන ඇත. වාර්තා වී ඇති වැඩිම ලකුණ ලකුණු 177කි.
විශේෂත්වය වන්නේ ශිෂ්‍යත්ව කඩම් ලකුණු ලඟ නොවූ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශිෂ්‍යයා ද ලකුණු 121ක් ලබාගෙන තිබීමය. ඔහු එක් විෂයයක් සඳහා ලබාගෙන ඇති සාමාන්‍යය ලකුණු 60.5කි.

එරියාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අනිල් ගාමිණී විජේරත්නය. ඔහු පවසන්නේ දරුවන්ගේ මනසට පීඩාවක් ලබා නොදෙමින් පාසල පරිසරය, දෙමව්පිය සමාජය සමග ඒකාබද්ධව සිදුකරන තෘප්තිමත් ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෙස දරුවන් මේ ජයග්‍රහණය අත් කරගත් බවය. දරුවන්ගේ චින්තය දියුණු කිරීමත් සමාජ අවබෝධයත් රහිතව විභාගයට හුරු කළ යන්ත්‍ර බිහි වීමක් නොවන සාමුහික ක්‍රියාවලිය ප්‍රතිඵලයක් මෙම ප්‍රතිඵලය තුළ ගැබ්ව ඇතැයි ද ඔහු කීවේය.
පාසලේ ගුරු මණ්ඩලයේ වචනයෙන් කිව නොහැකි කැපවීම, අධ්‍යාපන බලාධාරීන්ගේ දිරිගැන්විම සහ පූර්ණ සහයෝගය ලබා දීම ඇතුළු සමස්ථයේ ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය අත්පත් කරගත් බවත් එය කණ්ඩායමක සාමුහිකත්වයේ මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත් විදුහල්පතිවරයා පැහැදිලි කළේය.
“අඩුම ලකුණු ලබා ගත් දරුවා ලකුණු 121 යි. විෂයක සාමාන්‍යය ලකුනු 60.5යි. ඇත්තටම මේ දරුවො කිසි කෙනෙක් අසමත් නෑ… ඔවුන් හැම දෙනාම සමත්…”







