ඇල්ල ඔඩිස් දුම්රියේ දුම්රිය ආසන 68කට අදාල රුපියල් එක් ලක්ෂ දාහතර දහසක් වටිනා ( රුපියල් 114000) ඊ ටිකට් පත් 21 සන්තකයේ තබාගෙන සිටි ඊ ටිකට් ජාවාරමට සම්බන්ධ ත්රී රෝද රථ රියදුරෙක් අද (22) මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සුදුහුම්පොළ ප්රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම පුද්ගලයා මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ ත්රිරෝද රථ ධාවනයේ යෙදෙන අයෙකි.
විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මගී ප්රවාහන බස් රථයකින් මෙම ටිකට්පත් ත්රිරෝද රථ රියදුරාට එවා ඇත්තේ මහනුවර දුම්රිය ස්ථානයේ කලක් සේවය කර ත්රිකුණාමලයට මාරුවී ගිය දුම්රිය සේවකයෙකි. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ත්රිරෝද රථ රියදුරුට ලැබෙන දුරකථන ඇමතුම් අනුව ගැනුම් කරුවන්ට එම ටිකට්පත් ලබාදෙන බවත් ඒ වෙනුවෙන් දෛනිකව ඔහුට රුපියල් 2500 ක මුදලක් ගෙවා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. එම ටිකට්පත් ගැනුම්කරුවන්ට විකුණන මුදල සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නැත.
එම මුදල කොපමණද යන්න පිළිබඳ ත්රී රෝද රථ රියදුරා නොදන්නා අතර එම මුදල තීරණය කරන්නේ ත්රී රෝද රථ රියදුරු දුරකථනය හරහා මෙහෙයවන පුද්ගලයා බවත් ත්රී රෝද රථ රියදුරු සිදු කරන්නේ අදාල තැනැත්තාට ටිකට්පත් ලබාදීම බවත් මේ වනවිට විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ වනවිට අදාල ජාවාරම ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ







