-
පෙබරවාරි 15 සිට ක්‍රියාත්මකවන වැඩ පිළිවෙලක් ගැන ඇමති ලාල් කාන්ත නුවරදී කියයි!
එළඹෙන පෙබරවාරි 15 වැනිදා සිට ඵලදායීව වගා කටයුතු නොකර අත්හැර දමා ඇති රජයට සහ පෞද්ගලික අංශයට අයත් කෘෂිකාර්මික ඉඩම් වගා කටයුතු සඳහා යෙදවීම අනිවාර්ය කරන බවත්, ඊට අනුගතව ක්‍රියා නොකරන පුද්ගලයන්ට දඩ පැනවීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) මහනුවර දී මාධ්‍ය අමතමිනි.
මෙහිදී ඇමතිවරයා අවධාරණය කළේ පොහොසත් රටක් නිර්මාණය කරගැනීම සඳහා රට තුළ ඵලදායීතාවයක් සහිත ඉඩම් පරිභෝජනයක් තිබිය යුතු බවය. මෙහිදී ඇමතිවරයා ප්‍රකාශ කළේ මේ අදහස් කරන්නේ වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීමක් ගැන කතාවක් නොවන බව ය. එවැනි අදහසක් කිසිසේත්ම නැති බව කී ඇමතිවරයා ප්‍රකාශ කළේ වගා නොකර අත්හළ ඉඩම්වල හිමිකරුවන්ට සිය නීත්‍යානුකූල අයිතිය ඒ ආකාරයෙන්ම තබාගෙන එම ඉඩම් වගා කිරීම සඳහා ප්‍රදේශයේ ගොවි සංවිධාන, රජයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සමග සාකච්ඡා කර වගාවක් වෙනුවෙන් පැවරීමේ ක්‍රියාවලියක් බවය.
ඇමතිවරයා කීවේ මෙවැන්නකි.
“කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඉඩම් තිබෙන ආයතන ගණනාවක් තියනවා. මෙම ඉඩම් වලින් වැඩි කොටසක් ආර්ථිකයට උපරිම ඵලදායිතාවක් ලැබෙන අයුරින් යොදා ගන්නා ආකාරය මේ වනවිට පෙනෙන්නේ නෑ.
අදාළ ඉඩම් දියුණු කිරීමේ අරමුණ ඇතිව ඒවායින් උපරිම ඵලදායිතාව ලබා ගැනීම සඳහා අපි නව වැඩසටහනක් සකස් කරලා තියනවා. එය පෙබරවාරි 15 දායින් පසු ක්‍රියාත්මක කරනවා.
වගා කිරීම් වලට අදාළ පනත් කිහිපයක් රටේ තිබෙනවා. එකක් 1979 අංක 58 දරන ගොවිජන සේවා පනත. පසුව 1991 අංක 04 දරන ගොවිජන සේවා (සංශෝධන) පනත ආවා. 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත ද රටේ බලාත්මකයි.
ගොවිජන සංවර්ධන පනතට 2011 අංක 46 දරන සංශෝධනයක් ද එක්කර තිබෙනවා. මෙම පනත් යටතේ පවතින නීතිමය බලතල රටේ කෘෂිකර්මාන්තයේ සහ කෘෂිකාර්මික නොවන වෙනත් ආර්ථික කටයුතුත් නියාමනය වෙනවා. මේ බලතල රටට උපරිම ඵලදායිතාවක් ලැබෙන සේ පාවිච්චි වී තිබෙන්නේ අවම වශයෙන්.
වගා නොකර ඉඩම් හිස්ව තබාගෙන රට ගොඩනගන්න බෑ. රජයේ ඉඩම් එක් පැත්තකින් තියනවා. අනෙක් පැත්තෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, මහවැලි අධිකාරිය හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. කී මේවායින් උපරිම ඵලදායිතාවක් රටට ලැබෙන්නේ නෑ.
වසර ගණන් අඛන්ඩව කිසිදු වගා කටයුත්තක් සඳහා යොදා නොගන්නා හිමිකරුවන් සිටින ඉඩම් ප්‍රධාන මාර්ග දෙපස පවා දකින්න පුලුවන්. පෙර කී පනත් වලට අනුකූලව මෙම ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කළ හැකියි.
ඒ ඒ ප්‍රදේශ වල පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන අදාළ ඉඩම්වල වගා කටයුතු ආරම්භ කළ යුතුයි. හිමිකරු වගා නොකරන්නේ නම් එම ඉඩම් වගා කළ හැකි අයට පවරා දිය යුතු යුතුයි. ඒ සම්බන්ධයෙන් වන තීරණ ඉඩම් හිමිකරු, ගොවි සංවිධාන නියෝජිතයින්, රජයේ නිලධාරීන් ඇතුළු පාර්ශව එක්ව ගත යුතුයි. ් මෙහි දී වගා නොකරන ඉඩමක හිමිකම කිසිසේත්ම ඔප්පුවේ හිමිකරුට අහිමි වන්නේ නෑ.
වැරදි ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව සකස් කළ කැබිනට් පත්‍රිකා හේතුවෙන් රටේ ඇතැම් ඉඩම් අපට අවශ්‍යය ආකාරයට භාවිතයට ගන්න බෑ. පසුගිය කාලයේ කැබිනට් සංදේශයක් මගින් ඉන්දියාවේ අමූල් සමාගමට ඉඩම් ලබාදීම ඊට එක් උදාහරණයක්. ඉතාම ඉක්මනින් එම කැබිනට් තීරණ අහෝසි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. උපරිම ඵලදායිතාවක් ලැබෙන ලෙස ආර්ථික සංවර්ධන කටයුතු වලට අදාළ ඉඩම් භාවිත කිරීමට හැකිවන ආකාරයේ ඇමැති මණ්ඩල සංදේශයක් සම්මත කරගන්නවා. ඒ අනුව ඉදිරියේ දී රජයේ කුමන හෝ ආයතනයක් යටතේ පවතින ඉඩම් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන හිස්ව තැබීමට ඉඩක් දෙන්නේ නෑ..
ඇමතිවරයා පැවසුවේ.







