නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, මාතලේ නුවරඑළිය සහ පොලොන්නරුව ඇතුළ සමස්ත කලාපයටම ඊයේ දිනයට සාපේක්ෂව අද අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පොලොන්නරුව, නුවරඑළිය, මාතලේ සහ ඌව පළාත්වලටත් නැගෙනහිර පළාතටත් මිලි මීටර 75ට අඩු තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 30 -40 ක පමණ තද සුළ ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් මල්වතු ඔයේත් දැදුරු ඔයේත් යාන් ඔයේත් මහවැලි ගඟේත් ජල මට්ටම් මේ වනවිටත් ඉහළ නගිමින් ඇති ආකාරය වාරිමාර්ග දෙපාර්තමේන්තුව දක්වයි. එම ගංගා ද්‍රෝණිවල ජීවත්වන පුද්ගලයින්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වයි.
මේ වනවිටත් පොලොන්නරුව මඩකලපුව මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල හන්දියෙන් යට වී ඇත. මෙම ගංවතුර තත්ත්වය ඊයේ දිනයේදීත් පැවතිනි. එමෙන්ම නායේ යෑම් සම්බන්ධව ඊයේ නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදනය අදටත් වලංගු බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දන්වා ඇත.







