මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව කටුවන්විල විල්ලුවේ කැලෑ ප්‍රදේශයේදී වළ දමා තිබූ ස්පාඤ්ඤයේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, එම උණ්ඩ 11 සමග වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (18) සවස සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලිම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ අරලගංවිල විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒකාබද්ධව සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුවන්විල, සහ නව සේනපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසි හයත්, හතළිහත්, අතර වයසේ පසුවන්නන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරුවන් සතුව තිබූ කේබල් මදු හතළිහක් ද අත්අඩංගුවට ගත් බව දිඹුලාගල වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.
සැකකරුවන් මෙම ගිනි අවිය යොදාගෙන කාලයක් තිස්සේ, සතුන් දඩයම් කිරීම සිදු කරගෙන ගොස් ඇති බව වැටලීම සිදුකළ නිලධාරිහු සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ බෝර 12 ගිනි අවිය සහ දඩයම් කිරීමට යොදාගත් උපකරණ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරි දිනකදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දිඹුලාගල වන සංරක්ෂණ නිලධාරියෙකු අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.







