පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන් 74 දෙනෙකුට නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න පවසන්නේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.
මෙයට අමතරව වියදම් වාර්තා භාර නොදුන් දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව ඔහු සඳහන් කළේය. වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධික බවත්
ඒ අයටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.
ඒ ඒ පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි කොමිසම තවදුරටත් කියයි.
වියදම් වාර්තා භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ. (සුජිත් හේවාජුලිගේ – ලංකාදීප)







