මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13) අත්අඩංගුවට ගත්තේය.
ඉකුත් ජනවාරි මස 03දා ඝාතනය කරනු ලැබූයේ වසන්ත සංජීව නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි. වසන්ත කපා කොටා ඝාතනය කරන්නේ ඔහුගේ නිවස ඉදිරිපිටදී ය.
එම ඝාතනයේ වැඩිදුර විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර කොට තිබුණි. එම විමර්ශන කණ්ඩායම් සිදු කරන ලද විමර්ශනයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණි.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස තුළදී අත්අඩංගුවට කොටු කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වූයේය. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් කඩු හතරක් කොළඹ තලංගම ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගත්තේය. රුපියල් 370,000 මුදලක්ද ඔවුන් සන්තකයේ තිබියදී සොයා ගෙන ඇත.
මාළු ව්‍යාපාරික වසන්ත සංජීව ඝාතනය කර තිබුණේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකයට. එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ වසන්තගේ මාළු වෙළෙඳසැලට යාබද වෙළෙඳ සැළේ මාළු ව්‍යාපාරිකයා විසිනි. ඔහු මේ අවස්ථාවට පෙර ත්‍රී කුණාමලයේ යුද හමුදාවට සම්බන්ධ අයෙකුට මේ ආකාරයෙන්ම අදාල වසන්ත ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන්නත් එම හමුදා සෙබලා තමන් ලැබුණු කොන්ත්‍රාත්තුව සම්බන්ධව වසන්තට හෙළි කර තිබිණි. එම තොරතුරු හෙළි වීමත් සමගම වසන්ත සිද්ධිය සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් කළේය.
මුල් කුරුමාණම වැරදුනත් දෙවැනි වර වසන්තව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ඊට වඩා අඩු මුදලකට ගාල්ලේ පාතාලයට ලබා දී සිය අරමුණ ඉටුකරගැනීමට වසන්තගේ එදිරිවාදියා සමත් වී තිබිණි.
මේ වනතුරුත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් මාළු ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන නැත. ඔහු සැඟවී ගොස්ය. සිද්ධිය සම්බන්ධ වැඩි දුරවිමර්ශන ක්‍රියාත්මකය.







