වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක් කිරීමෙන් කළ කෝටි 2ක පාඩුව පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (6) පැමිණිල්ලක් බාරදුන්නේය.
ජපානයෙන් ප්රදානය කළ නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් 2020 වසරේ පෞද්ගලික විනෝද චාරිකාවක නිතරව තිබියදී අනතුරකට ලක්වීමෙන් රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිතකිරීම උපදෙස්දීම සහ අලාභහානි කිරීමට යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සංජය මහවතත් තම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
වරාය අධිකාරිය සතු යාත්‍රාවක් නීති විරෝධී ලෙස පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගැනීම, බලය පාවිච්චි කර අනතුර සැඟවීම සහ අනතුරෙන් වූ හානිය යථා තත්වයට පත්කිරීමට විශාල මුදලක් වැය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙහිදී ගණක හේමචන්ද්‍ර මහතාට එල්ල වන බවත් එවැනි චෝදනා ඇති නිලධාරියෙක් එම ආයතනයේම උසස් තනතුරකට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවදානය යොමු කරන බවත් සංජය මහවත්ත කීය.
අදාල නියමු යාත්‍රාව අලුත්වැඩියා කළ ද අනතුරෙන් පසුව මේ දක්වා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇති බව කියන පැමිණිලිකරු මෙය රාජ්‍ය දේපළ අවභාවිතය කිරීමේ ජාතික අපරාදයක් බව ද සඳහන් කළේය.
වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක ගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් කළ බව ද මහවත්ත කීය. ( යොහාන් භාසුර – ලංකාදීප )







